ආණ්ඩුකාර කෝලම

ආණ්ඩුකාර කෝලම

කෝලම් යනු මෙරටේ ප්‍රචලිත සම්ප්‍රදායික ජන නාටක විශේෂයකි. එය වැඩිමනත් ප්‍රචලිතව ඇත්තේ දකුණු පළාත්බද වෙරළබඩ තීරුවේය. මෙම නාටක විශේෂයෙහි ආකර්ශනීය පදනම වන්නේ එය මුළුමනින්ම වෙස්මුහුණු පැළඳ, උපහාස රසය ජනනය කරන ආකාරයේ දෙබස් පිරුණු නාටකීය ආකාරයකින් රඟ දැක්වීමයි. එහි එන එක් වෙසෙස් දෙබසක් වන්නේ''හේවා කෝලමයි''. ඊට 'බඩ ජලයා'ලෙසද නමක් ඇත්තේය. මේ හේවායා යනු රජතුමාගේ හමුදා භටයෝය. එහි එකී හමුදා භටයා හඳුන්වා දෙන්නේ මෙලෙසය.

නිරිඳුන්ගේ පොරණ

සිටින තනතුරු ලැබගෙන

නමින් බඩජල ය යන

බොලෑ මුක්කන් කුනෙක් දැන් එන

දැන් දැන් අපගේ ආණ්ඩුකාර කට්ටලය සිදු කරමින් පවත්නා වෙනස්කම් දුටු විට සිහිවන්නේ ද මේ කෝලම් ජන නාටකයේ පූර්ව රංගයට අයත් හේවා කෝලම හා ආණ්ඩුකාරවරයාගේ භූමිකාව දෙකක් නොව එකක් බවයි. ඔවුන් සිදුකරන බොහොමයක් වැඩ විවාදාත්මක වුවද ඔවුන්, ඔවුන්ගේ ලිපි ශිර්ෂ සරසා ඇත්තේ 'ආණ්ඩුකාරවර' යන අභිදානයෙනි. ඒ ජයවර්ධන ජනාධිපතිතුමා 'අතිගරු උතුමාණන්' ලෙස හඳුන්වා ගන්නට ගත් උත්සහය සිහි ගන්වන්නකි.

කෝලමේ සහ වර්තමාන දේශපාලන පොර මඬලේ ඇති එකම වෙනස අපේ වත්මන් ආණ්ඩුකාරවරු තනතුරු ලබාගෙන ඇත්තේ පොරණ හෙවත් අතීතයේ සිටි නිරිඳුන්ගෙන් නොව වර්තමාන විධායක ජනාධිපතිවරයාගෙන් වීමයි. ඒ කෙසේවෙතත් අපේ ආණ්ඩුකාර නව දෙනාගේ දත් නම් ඉදිරියට නෙරා නොමැතිය. නාසා ද මුක්කන් වී නැත්තේය. ඒ වෙනුවට බහුතරයක් දෙනා වයස්ගතය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර 1987 ජූලි මස 29 වැනිදින අස්සන් කරන ලද ඉන්දුලංකා ගිවිසුමේ ප්‍රතිඵලය වූයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ඊට අනුයාතව හඳුන්වා දුන් අංක 42 දරන පළාත් සභා පනතේ 15.2 වගන්තියේ මෙසේ සඳහන්.

''මේ පනතේ අන්‍යාකාරයෙන් විධිවිධාන සළසා ඇති අවස්ථාවන්හි හැර ආණ්ඩුකාරවරයාගේ සියලු විධායක ක්‍රියා අමාත්‍යවරයන්ගේ උපදෙස් මත හෝ නොඑසේව කරනු ලැබූවද, ජනාධිපතිවරයාගේ නාමයෙන් කරනු ලැබූ සේ ප්‍රකාශ විය යුතුය''.

මෙම වගන්තිය සමස්තය හකුළුවා දක්වා ඇත්තේය. පළාත් සභා ආරම්භයේ පටන් එහි ප්‍රගතිය පතන්නෝ කනස්සලු වූ එක් කරුණක් නම් පළාතේ මහජන නියෝජිතයන්ට ඉහළින් ආණ්ඩුකාරවරයා ස්ථානගත කොට විධායකයේ අණ එහි මුද්‍රා කොට තිබීමයි. මෙය ඉන්දියාවේ භාවිත ආකෘතියම වන අතර ඇත්තේ වෙනස්කම් කිහිපයක් පමණි. එහි ද ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. අවශ්‍ය වන්නේ නම් එකම තැනැත්තා පළාත් දෙකක් සඳහා ද පත් කල හැකිය. සම්ප්‍රදායක් ලෙස යම් තැනැත්තෙක් පදිංචිව සිටින පළාත සඳහා අදාළ පත්වීම සිදු නොකෙරේ. Lieutenant governors හෝ Administrators ලෙස ඔවුන් හඳුන්වන්නේය.

ඉහත වගන්තියට අනුව පැහැදිළි වන්නේ විධායක ජනාධිපතිවරයා සෑම පළාත් සභාවක් සඳහාම තම නිල අණසක පතුරුවනු ලබන්නේ ආණ්ඩුකාරවරයා මාර්ගයෙන වීමයි. ඒ අනුව ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද මෙම පත්වීම සිදුකිරීම ජනාධිපතිවරයා සතු කාර්යයකි. අදවන විට මෙරටේ ආණ්ඩුකාර තනතුරු දරන 09 දෙනා වන්නේ ලක්‍ෂමන් යාපා අබේවර්ධන, පී.එස්.එම්.චාර්ල්ස්, සෙන්දිල් තොණ්ඩමන් , මහීපාල හේරත් , නසීර් අහමඩ්, නවීන් දිසානායක , ඒ.ජේ.එම්.මුසම්මිල් , රොෂාන් ගුණතිලක සහ ලලිත් යූ ගමගේ යන අයයි.

ඉහත නව දෙනාගෙන් පස් දෙනෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කොට අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වූ අයවලුන්ය. එබැවින් ගෝඨාභය රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් දෙදෙනාම ඔවුන් වෙත දක්වා ඇත්තේ දේශපාලන හිතෛශීවන්ත බවකි.

අනෙක් සිව් දෙනාගෙන් චාර්ල්ස් මැතිනිය සුවිශේෂී ය. ඇය පරිණත රාජ්‍ය නිළධාරිනියක්ව සිට විශ්‍රාමයෙන් ඉනික්බිති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වූවාය. අනතුරුව පළාත් පාලන ජන්ද විමසීම කඩිනමින් පවත්වන්නේද නැතිද යන උණුසුම් සංවාදයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් ජන්දය කල් දමන්නට නිල නොවන සහයක් ඈ ලබා දුන්නීය. ප්‍රතිඵලය වූයේ වික්‍රමසිංහ පාලනය නැවතත් ඇය වෙත ඇය වඩාත් ප්‍රියකරන ආණ්ඩුකාර ධූරයෙන් සංග්‍රහ කිරීමයි.

මෙහිලා වඩාත් සැළකිය යුතු කරුණ වන්නේ මෙරටේ පළාත් සභා ක්‍රමය පිළිබඳව පවත්නා දැඩි විවේචනයේ එක් අප්‍රකාශිත හේතුවක් වන්නේ මෙලෙස සුපිළිපන්න දේශපාලන පරිචයක් නැති තැනැත්තන් මඟින් පළාත් පාලනය කරන්නට යෑමයි. එය ප්‍රජාතන්ත්‍රීය ආයතන පද්ධතිය චේතනාන්විතව අගතියට පත්කිරීමේ එක් පියවරක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැත. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට නැගෙනහිර භාර දුන්නේද, කරුණාරත්න දිවුල්ගනේ හට උතුරු මැද භාර දුන්නේද එකී දේශපාලන ආලවන්තකම වෙනුවෙනි.

මෙම නවයක් වූ ආණ්ඩුකාරවර ඇවරියේ නවතම කෝලම් අංගය ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම කරට ගැනීමයි. ඊට අදාළ මැදිහත්වීම දැනටමත් දකුණ සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් සිදුකොට ඇත. අනෙක් අය නුදුරේදීම එමඟ යනු ඇත්තේය. මෙකී ආණ්ඩුකාරවරුන් සතුව තත් කාලයේ ඇති බලය අසහාය ය. එක් පසෙකින් ඔවුන් පිටුපස වැටී ඇති විධායක ජනාධිපතිවරයාගේ යෝධ සෙවනැල්ලයි.

තවත් පසෙකින් පළාත් පාලන ආයතන තුළ මහජන නියෝජිතයන් නැත. ඊට අදාළ අවසන් තීරණ ගනු ලබන්නේද ඔවුන්මය. ප්‍රාදේශීය පාලනයේ බලය ඇත්තේ පළාත් වලටය. ඒ ශ්‍රී ලංකාව බලය බෙදා හරින ලද රාජ්‍යයක් බැවිනි. පළාත් සභාද අතුරුදහන්ය. එහි සිටින්නේ පළාත් සභාවේ සභාපතිවරයා සහ නිළධාරී මඬුල්ලයි. එබැවින් පළාත් පාලන කොමසාරිවරයාද අනුයුක්ත පළාත් සභාවේ ප්‍රධානතම අමාත්‍යංශය ඇතුළත් පළාත් පාලන දෙපාර්තමේන්තුව මෙහෙයවන්නාද වන්නේ මෙකී ආණ්ඩුකාරවරයාමය.

එමඟින් මෙම තනතුරට පත්වන්නා අසහාය බලැති අදේශපාලනික අර්ධ ඒකාධිපතියෙක් බවට පත් කොට ඇත්තේය. අදේශපාලනික වන්නේ ඔවුන් මහජන නියෝජිතයන් නොවීම නිසා පමණක් නොවේ. කලින් කලට විධායක ජනපති අසුනේ සිටින බලවත් මිනිසා ප්‍රවර්ධනය ඔවුන්ගේ පරම කාරිය බැවිණි. ඊට මැනවින් පොහොණි වූ පරිසමාප්ත දේශපාලන පරිචයක් අවැසි නොවේ. තිබිය යුත්තේ අපගේ කෝලම් නාට්‍යවල ඇතැයි මුලින් කී 'බඩජල' බව පමණකි.

එබැවින් පුංචි ජන්දයට සල්ලි නැතැයි කියන ආණ්ඩුවම, පුංචි ආණ්ඩු මෙහෙයවන්නට තමන්ට ලැදියාවක් දක්වන හිටපු සභිකයන් සහ අනෙක් පාක්‍ෂික සගයන් පත් කිරීම මෙරටේ අනාගත ආණ්ඩුකරණය අභියෝගයට ලක් කරන කේන්ද්‍රීය සාධකයක් වනු ඇත්තේය. මෙවැනි පත්වීම් හමුවේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් හුදු රබර් මුද්‍රා බවට පත්කිරීම මඟින් නිළධාරී තන්ත්‍රයේ දිරිය සිඳලන්නේය. මැඬලන්නේය.

කරුණු සිදුවන්නේ මෙලෙස නම් නුදුරු අනාගතයේදී මහමඟ මුදල් සම්මාදම් කරන යාචකයා පවා ලංකාවේ නීතිය දෙස බලනු ඇත්තේ අවමන් සිතින් වන අතර එදිනට ගුවන් තොටුපළවල පර්යන්ත පිරී යනු ඇත්තේ රටින් පිටවන පුරවැසි සමූහයාගෙනි.

එලෙස යන්නට සිතන්නෝ යන්නේ සල්ලි හරිහම්බ කිරීම ම පරම අභිලාශය ලෙස සිතා නොවේ. නීතියට සහ සදාචාරයට ගරු කරන පතිරූප දේශයක වාසය ද හිතට සැපයි යන උදානය සිත දරාගෙනය. ඉදින් අපි නන්දා මාලිනිය අනාගතවාදී ස්වරයෙන් ගයන ක්ෂීර පායාස දසත ගලා යන මනරම් රටක් කෙසේනම් සදම්ද !!

manjula gajanayake 1

| මංජුල ගජනායක