මහ මැතිවරණයට ඇත්තේ තවත් සතියක පමණ කාලයකි. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ වන විට සිය මැතිවරණ ප්රචාරක කටයුතු තීව්රර කර ඇති නමුත් පසුගිය මහ මැතිවරණ සමයන්හි දී දැකගත හැකි වූ ආකාරයේ මැතිවරණ උණුසුමක් මෙවර දැකගත නොහැකි බව පොදු අදහසයි. ඒ අතර දේශපාලන විශ්ලේෂකයින්, විශේෂයෙන් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙවර මහ මැතිවරණය පසුගිය ඉතිහාසය පුරා පැවැති සියලුම මහ මැතිවරණවලට වඩා සුවිශේෂ වන බවය. ඊට හේතු වශයෙන් ඔවුහු විවිධ කරුණු - කාරණා ඉදිරිපත් කරන අතර පොදුවේ පොදු ජනතාවගේ ද අදහස වන්නේ මෙවර මහ මැතිවරණය අතිෂය තීරණාත්මක එකක් බවය.
මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය “කතිකාව” සංවාද මාලාවේ 201 වැනි සංවාදය පවත්වනු ලැබුවේ “ඊළඟ පාර්ලිමේන්තුව හමුවේ ඇති අභියෝග මොනවාද?” යන මාතෘකාව යටතේය. මෙම සංවාදය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසර ලාල් ගුණසේකර සහ ආචාර්ය සුජාතා ගමගේ සහභාගී වූ අතර නීතිඥ ගයාත්‍රී නවරත්න විසින් සංවාදය මෙහෙය වන ලදී. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
දුන් පොරොන්දු කෙටි කාලයක් තුළ වේගයෙන් ඉටු කිරීම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන
ඊළඟ පාර්ලිමේන්තුව හමුවේ ඇති අභියෝග මොනවාද? යන්න ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව කරු පරණවිතාන පෙන්වා දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය, ආණ්ඩු පක්ෂයට හිමිවන ජනවරම සහ රටේ අපේක්ෂාවන් ඒ අතර වන බව ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව යමින් මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව කී පරණවිතාන වත්මන් තත්ත්වය අනුව පුළුල් ලෙස බෙදී ගිය විපක්ෂයක් පත්විය හැකි බව ද සඳහන් කළේය.
ඊළඟ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගෙන බලයට පත්වන ආණ්ඩුව සහ එහි ස්වභාවය ගැන පැහැදිලි කරමින් කරු පරණවිතාන වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළේය, මේ පදනම අනුව බලන විට ලංකාව දේශපාලන සංක්රාන්තියකට මුහුණ දී සිටින බව පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම මේක 2022 අරගලයේ තවත් දිගුවක් සහ ප්‍රතිඵලයක් බව කිව යුතුයි. ජනතාව විසින් පොදුවේ අරගලය කළත් එහි අවසන් ප්‍රතිඵලය දිනා ගෙන තිබෙන්නේ ජවිපෙ බව මේ අනුව පැහැදිලි වෙනවා. මේ තත්ත්වය තුළ ඉදිරියේ පාර්ලිමේන්තුවේ බහුතරය බවට පත්වෙන්නේ දශක හයකට අධික කාලයක් පුරා දේශපාලනය කළ, මනා දේශපාලන පරිචයක් ඇති කිහිප දෙනකු නායකත්වය දෙන ඉතාම සංවිධිත, කාඩාර්වරුන් මත පදනම් වුණ දේශපාලන පක්ෂයක්. මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන සඳහන් කළ යුතුයි. ඒ තමයි ආණ්ඩු පක්ෂය නිර්මාණය වෙන්නේ රාජ්‍ය පාලනය, ආණ්ඩුකරණය ගැන අඩු අත්දැකීම් ඇති බහුතරයකින්. නමුත් ආණ්ඩු පක්ෂය තුළ විශාල බෙදීම් නිර්මාණය වෙන එකක් නැහැ. මොකද ජවිපෙ දැඩිව නඩත්තු කරන විනය විසින් මේ කණ්ඩායම් හසුරුවයි කියලා අප දන්නවා.
ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ එහි සංයුක්තිය සහ ස්වභාවය ගැන පැහැදිලි කරමින් කරු පරණවිතාන පෙන්වා දුන්නේ දැඩිව බෙදී ගිය විපක්ෂයක් බිහිවීම ස්ථිර බවයි. විපක්ෂයේ සාපේක්ෂ බහුතරය දිනා ගන්නා පක්ෂයේ නායකයා විපක්ෂ නායකයා වනු ඇති බවත් ඔහු කීවේය.
මෙහිදී ජනවරම ගැන ආණ්ඩුවට නොතකා හැරිය නොහැකි බව පෙන්වා දුන් කරු පරණවිතාන ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් මෙසේ ද කීවේය. අපි මේ කාරණාවලට වඩා අවධානය යොමු කළ යුතු වන්නේ ආණ්ඩුවට ලැබී ඇති ජනවරම කුමක් ද? සහ රටේ අපේක්ෂාවන් කුමක්ද ? යන්න ගැනයි. යම්කිසි ආකාරයකින් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර ජනවරම හිමි වුණොත් එහි පදනම වන්නේ ඔවුන් පසුගිය කාලය පුරාම ජනතාව හමුවේ දුන් ප්‍රධාන පොරොන්දුව වන පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම. ඒ කියන්නේ හොරු ඇල්ලීම, දූෂණයෙන්, නාස්තියෙන් තොර ආණ්ඩුකරණය. ඒ අනුව ජනමතයට කන්දීමට, සංවේදී වීමට ආණ්ඩුවට සිදුවෙනවා. ඒ වගේම අපි අමතක නොකළ යුතුයි 225 එපා කියන සටන් පාඨය බිහිවන්නේ ආර්ථිකමය පදනමකින්. ඒකට තිබෙන්නේ ආර්ථිකමය දෘෂ්ටියක්. මේ ආර්ථික අරගලය තමයි පසුව දේශපාලන අරගලයක් බවට පත් වුණේ. මේ කාරණය ජනවරම තුළ කොපමණ ප්‍රමාණයකින් නියෝජනය වුණා ද කියන එක නොතකා මේ කාරණය ගැන ආණ්ඩුවට අවධානය යොමු කිරීමට සිදුවෙනවා.
මෙහිදී කරු පරණවිතාන පෙන්වා දුන්නේ ජාතික ජන බලවේගය පසුගිය කාලයේ ආර්ථික කාරණා සම්බන්ධයෙන් යථාර්ථවාදී නොවූ බවයි. ජාජබ ආර්ථික ප්‍රතිපතිය හෝ දැක්ම ගැන නිශ්චිතභාවයක් නොවූ බව පෙන්වා දුන් කරු පරණවිතාන ආර්ථිකමය කාරණා ගැන කෙසේ වෙතත් ජාජබ ප්‍රධාන සටන් පාඨය වන හොරු ඇල්ලීම සම්බන්ධයෙන් ඔවුන් සැලකිය යුතු යමක් කරනු ඇතැයි තමා ද විශ්වාස කරන බව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද කීවේය, ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් ගත්විට දැනටමත් ආණ්ඩුවට කරන්න සිදුවෙලා තිබෙන්නේ ජනාධිපතිවරණයේ දී ලබාගත් ජනවරමට පටහැනි දෙයක්. උදාහරණයක් විදිහට ඔවුන් මැතිවරණයට පෙර දැඩිව අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සංශෝධනය කරන බවයි. නමුත් එවැනි පියවරකට යාමට හැකියාවක් ඇති බව පෙනෙන්න නැහැ. ඒක අංශක 180ක් ආපසු හැරිලා තිබෙන්නේ. ඒ කියන්නේ රටේ ප්‍රධාන ආර්ථික වැඩපිළිවෙළ විදිහට අද ක්‍රියාත්මක කරන්න සිදුව තිබෙන්නේ ජාජබ ජනාධිපතිවරණ සමයේ කළ ප්‍රකාශ නොවෙයි.
මෙහිදී කරු පරණවිතාන පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් නව නීති සම්පාදනය කිරීමට සහ මූල්‍ය පාලනය දැඩි කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවයි. රාජ්‍ය මූල්‍ය පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවයන් අනුව ම කළ යුතු බව පෙන්වා දුන් ඔහු මෙය ද ජාතික ජන බලවේගය රටට කී කතාවට සපුරා පටහැනි දෙයක් බව ද පෙන්වා දුන්නේ ය. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේය. ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි මම ඉහතින් සඳහන් කළේ. ඒ වගේ ම අවශේෂ නීති, ආර්ථිකමය කාරණාවලට අදාළ නීති පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා අනුව තමයි පනවන්න වෙන්නේ. ආණ්ඩුව ඒ පාරේ යන බවට ලකුණු දැනටමත් පහළ වෙලා තිබෙනවා. වෘත්තීය සමිති විසුරුවා හරිනවා කියන කතාව ඉන් එකක් පමණයි. ඒ වගේම ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් ඉතාම නොමේරු ප්‍රකාශ ජාතික ජන බලවේගයේ ප්‍රබලයින් නිතර නිතර කරනවා. ඔවුන්ට දැනි රටේ සැබෑ ආර්ථික යථාර්ථයන්ට මුහුණ දීමට සිදුවෙලා තිබෙන නිසා මැතිවරණයට පෙර කළ බොහෝ ප්‍රකාශ ගැන මුනිවත රැකීමට සිදුව තිබෙනවා. වමත්මන් මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන් මැතිවරණයට පෙර කළ ප්‍රකාශ එක් උදාහරණයක් පමණයි.
ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය ලෙස කරු පරණවිතාන පෙන්වා දුන්නේ, ජාතික ජන බලවේගය කිසිසේත් එකඟ නොවන, ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ ද නැති ආර්ථික න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කිරීමට සිදුවීම බවයි. එසේම රාජ්‍ය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ වේගවත්ව ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව මුහුණ දෙන තවත් ප්‍රබල අභියෝගයක් බව කී කරු පරණවිතාන පුනරුදයක් ඇති කිරීමට නම් හොරු ඇල්ලිම, දූෂිතයින්ට දඩුවම් දීම පමණක් නොව ඔවුන් සඳහන් කර ඇති පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වගකීම් සහගත රාජ්‍ය සේවයක් බිහිකිරීම, ජාතික සංහිඳියාව බිහිකිරීම ද ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක බරපතළ වෙනස්කම් කිරීම අනිවාර්ය බව අවධාරණය කළේය.
මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂමව සහ වේගයෙන් කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුවෙනවා. මොකද මේ වන විටත් ආණ්ඩුව ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් වන පැරණි ස්ථාවරයෙන් දුරස් වෙලා සිටින්නේ. ඒ නිසා අධ්‍යාපනය ද ඇතුළු සමාජ - සංස්කෘතික හා දේශපාලන කාරණා සම්බන්ධයෙන් දුන් පොරොන්දු ඉටුකිරීමට ඔවුන්ට වේගයෙන් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුයි. ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ ලංකාවේ විහිළුවට ලක්වන දෙයක් වුණත් ඒක හැම අවස්ථාවක ම වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට යහපාලන ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සෑහෙන කොටසක් මුල් දින 100 තුළ ඉටුකළා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කිරීම, ඉන්ධන මිල අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු බොහෝ පොරොන්දු නොපිහිරිහෙලා ඉටු කළා.
වත්මන් ආණ්ඩුව ද පාර්ලිමේන්තු බලය දිනාගත් විට ඉතාම කෙටි කාලයක් තුළ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කළ ප්‍රධානතම හා වර්ණවත් පොරොන්දුවලින් සැලකිය යුතු කොටසක් වඩාත් වේගයෙන් ඉටු කළහොත් ආණ්ඩුවට සුවපහසු ගමනක් යාමට හැකිවනු ඇති බවත්, එසේ නොකළහොත් ආණ්ඩුවේ ගමන බොහෝ දුෂ්කර වනු ඇති බවත් කරු පරණවිතාන සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් සිය අදහස පැහැදිලි කළ කරු පරණවිතාන මෙසේ සඳහන් කළේය, විපක්ෂය අවධානයට ගත යුතු වැදගත්ම කරුණ තමයි දේශපාලනයේදී වඩාත් වැදගත් වන්නේ පුද්ගල සාධක නොව අදහස් කියන කාරණය. ජාතික ජන බලවේගය බලයට පත් වුණේ පුද්ගල සාධක මත නොව ජනතාවට ඒත්තු ගන්වන්න පුළුවන් අලුත්, බලවත් අදහසක් තිබූ නිසයි. අපි පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි. ඒ අනුව ඉදිරියේදී පුද්ගල ප්රතිරූප ඉදිරියට දා ගැනීමට වඩා අදහසක් මත පදනම් වූ විකල්ප ආණ්ඩුවක් ලෙස විපක්ෂය කටයුතු කළ යුතුයි.
අභියෝග ජයගන්න හොඳම ක්‍රමය ආංශික අධීක්ෂණ කමිටු වඩාත් ශක්තිමත් කිරීමයි - ආචාර්ය සුජාතා ගමගේ
පසුගිය පරිවාස ආණ්ඩු සමයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විශාල පිරිසක් සිටි බවත් ඊට පසුව ද අවස්ථා කිහිපයක දී ජවිපෙට පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු නියෝජනයක් හිමිව තිබූ බවත් පෙන්වා දුන් ආචාර්ය සුජාතා ගමගේ ඒ අනුව ඔවුන්ට අත්දැකීම් නැත යන අදහස සමඟ තමාට පූර්ණ ලෙස එකඟ විය නො හැකි බව පෙන්වා දුන්නා ය.
ඉදිරි පාර්ලිමේන්තුවට නවකයින් පත් වුවත්, අත්දැකීම් බහුල මන්ත්‍රීවරුන් පත් වුණත් තමා දකින මූලික අභියෝගය වන්නේ විපක්ෂය පැරණි ආකාරයට ම සාම්ප්‍රදායික විපක්ෂයක් වීමේ අනතුර යැයි ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.
පසුගිය පාර්ලිමේන්තුවලට වඩා මෙවර පත්වීමට නියමිත විපක්ෂය වඩාත් බෙදුණු විපක්ෂයක් විය හැකි බව කී ආචාර්ය සුජාතා ගමගේ, විපක්ෂය සාම්ප්‍රදායික ලෙස හුදු විවේචනාත්මක ස්ථාවරයට (ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පොරොන්දු ගැන) ගියහොත් පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත්වනු ඇති බවටත් අනාවැකි පළ කළාය.
ආර්ථික අර්බුදය ආණ්ඩුව පමණක් මුහුණ දිය යුතු අභියෝගයක් නොවන බව සඳහන් කළ ඇය විපක්ෂය මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මාර්ගය ගැන ද සිය අදහස පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවාය, මේ ආර්ථිකය කියන ප්රශ්නයේදී ආණ්ඩුවට පොඩ්ඩක් කෙනිත්තුවට කමක් නැහැ. නමුත් මේ ආර්ථික දුෂ්තරතාවලින් ගොඩඒමට උපකාර කිරීමට විපක්ෂයට විශාල වගකීමක් තිබෙනවා. අපේ ජාතික නිෂ්පාදිතය, වියදම සහ ආදායම, ණය ගැනීමේ හැකියාව යන කාරණා අතර බරපතළ විෂමතා තිබෙනවා. මේ ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාම පැහැදිලි විග්‍රහයක් කුරුණෑගල පැවැති ජන හමුවකදී කළා. මේක ආණ්ඩුව පමණක් මුහුණ දිය යුතු ප්‍රශ්නයක් නොවෙයි. විපක්ෂයත් ඉතාම වගකීම් සහගතව කටයුතු කරමින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උපකාර කළ යුතුයි.
ජාතික ජන බලවේගයේ තවත් වැදගත් පොරොන්දුවක් වන ආණ්ඩුව පිරිසිදු කිරීමට විපක්ෂය විවේචනාත්මකව සහයෝගය ලබාදිය යුතු බවත් එහිදී පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී එවකට කථානායකවරයා වශයෙන් කටයුතු කළ කරු ජයසූරිය මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ හඳුන්වා දුන් ආංශික අධීක්ෂණ කමිටු ඉතා ඵලදායී ලෙස යොදා ගැනීමට විපක්ෂයට හැකියාව ඇති බවත් ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නා ය.
විපක්ෂයට ඉතා ඵලදායී වේදිකාවක් ලෙස ආංශික අධීක්ෂණ කමිටු යොදා ගත හැකි ආකාරයට වැඩි දුරටත් පැහැදිලි කරමින් ආචාර්ය සුජාතා ගමගේ මෙසේ ද කීවාය, ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමය හඳුන්වා දුන්නේ යහපාලන ආණ්ඩු සමයේ එවකට කථානායකවරයා වශයෙන් කටයුතු කළ කරු ජයසූරිය මැතිතුමා සහ එවකට අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ. මේ ආංශික අධීක්ෂණ කමිටුවල සභාපතීත්වය දරන්නේ සම්ප්රදායක් වශයෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙක්. මේ කමිටු මූලික වශයෙන් අංශ 12කට හා අනු කමිටු 17කට කඩලා තිබෙනවා. ඒ වගේම සෑම මන්ත්‍රීවරයෙකුටම සහභාගී විය හැකි ආකාරයෙන් හොඳ නියෝජනයක් මේ කමිටුවල තිබෙනවා”
මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ 2019 දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආංශික අධීක්ෂණ කමිටු අකර්මන්‍ය කළ බවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ (2022දී) පසු යළි ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමය ක්‍රියාත්මක කළ බව ද ආචාර්ය සුජතා සිහිපත් කළාය.
තමා ලද අත්දැකීම් අනුව මෙම කමිටුවලට සහභාගී වූ මන්ත්‍රීවරු මනා වෘත්තීමයභාවයකින් යුතුව කටයුතු කළ බව සිහිපත් කළ ඇය පෙන්වා දුන්නේ මෙම කමිටු ක්‍රමය යළි සක්‍රීය කිරීම ඉතා වැදගත් යැයි තමා සිතන බවයි. ඊට හේතු තව දුරටත් පැහැදිලි කරමින් ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ පොදු මාතෘකා ගැන ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට සංවාද කරමින් කටයුතු කිරීමට මෙම කමිටු ශක්තිමත් වේදිකාවක් වන බවයි. මේ සම්බන්ධයෙන් කරුණු තව දුරටත් පැහැදිලි කළ ආචාර්ය සුජාතා ගමගේ මෙසේ ද කීවාය.
මේ කමිටු ක්‍රමය තවත් වැදගත් වෙන්න හේතු කිහිපයක් තිබෙනවා. ඉන් ප්‍රධාන එකක් තමයි ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂය කියන්නේ දැඩිව බෙදී ගිය එකක්. තව දුරටත් දේශපාලන පක්ෂ නැහැ. ආණ්ඩු පක්ෂය බවට පත්විය හැකි ජාතික ජන බලවේගය කියන්නෙත් පක්ෂ හා සංවිධාන ගණනාවක එකතුවක්. මේ තත්ත්වය තුළ ආංශික අධීක්ෂණ කමිටු ඉතාම තීරණාත්මක විය හැකියි. මම විශ්වාස කරන ආකාරයට මේ ක්‍රමය තව දුරටත් ඉදිරියට ගොස් ඩොනමෝර් ක්‍රමය යටතේ (1931-1947) ක්‍රියාත්මක වූ විධායක කාරක සභා වැනි ආකෘතියක් දක්වා ගමන් කළ හැකියි. එදා ඩොනමෝර් ක්‍රමය යටතේ විධායක කාරක සභා ක්‍රමය හඳුන්වා දුන්නේ එවකට අපේ දේශපාලන පක්ෂ ශක්තිමත් නෑ කියන පදනම මතයි. මම දකින ආකාරයට මේ දක්වා ම අපේ දේශපාලන පක්ෂ ශක්තිමත් නෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීත් නෑ.
මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදුණහොත් ජනතාවට කිසිම සේවයක් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.
ආශිංක අධීක්ෂණ කමිටු වල වැදගත්කම තව දුරටත් පැහැදිලි කරමින් ආචාර්ය සුජාතා ගමගේ මෙසේ ද පෙන්වා දුන්නාය, මේ තත්ත්වය තුළ වඩත් ඵලදායී පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමට නම් ආංශික අධීක්ෂණ කමිටු ශක්තිමත් කර ක්‍රියාත්මක කරන ලෙස සිවිල් සමාජය ආණ්ඩුවට බල කළ යුතුයි. ඒ වගේම මම දකින තවත් වැදගත් කාරණයක් තමයි ආංශික අධීක්ෂණ කමිටු වැනි දේවල් වලට සම්බන්ධ වන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම්, විශේෂයෙන් දත්ත සහ තොරතුරු ලබා ගැනීමට කාර්යක්ෂම හා ඵලදායී වැඩපිළිවෙළක් අදාළ නිලධාරීන් විසින් සම්පාදනය කළ යුතුයි. මෙවැනි ඵලදායී හා කාර්යක්ෂම ක්‍රමයක් නිර්මාණය කළහොත් ඉදිරි පාර්ලිමේන්තුව මුහුණ දෙන බොහෝ අභියෝග පහසුවෙන් ජයග්‍රහණය කළ හැකියි කියලා මම හිතනවා.
බලගතු කතානායකවරයෙක් හා කාර්යක්ෂම පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයක් අත්‍යවශ්‍යයි - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසර ලාල් ගුණසේකර
වර්තමානය වන විට මෙරට දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක් සිදුව ඇති බවත් මේ පදනම මත ඉදිරි පාර්ලිමේන්තුව තුළ ද විශාල වෙනසක් සිදුවිය හැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසර ලාල් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ බහුතර පිරිස නවක මන්ත්‍රීවරුන් වීම සහ නවකයින් වීම හේතුවෙන් අලුත් අදහස් හා ක්‍රමවේද වෙත යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් තිබීම ය.
පසුගිය පාර්ලිමේන්තු සහ ඉදිරි පාර්ලිමේන්තුව ගැන සිය අදහස පැහැදිලි කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේ, මීට පෙර පැවැති පාර්ලිමේන්තුවලින් ජනතාව අපේක්ෂා කළ සේවය සිදු වුණේ නැහැ. ඒ වගේම විවිධාකාර හැලහැප්පීම වලට දෛනිකව මුහුණ දුන් පාර්ලිමේන්තුවක් තමයි මීට පෙර තිබුණේ. නුසුදුසු පුද්ගලයින් බහුතරයක් පාර්ලිමේන්තුවට පිවිසීමෙන් තමයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ. නමුත් ඉදිරි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බහුතරය නවකයින් විය හැකියි. මම විශ්වාස කරන ආකාරයට මන්ත්‍රීවරුන්ගෙන් 195ක් පමණ නවකයින් විය හැකියි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ අති බහුතරය. ඒ නිසා ඔවුන්ට අලුත් අදහස් සමග අලුත් ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක ඉබේම ඇති වන තත්ත්වයක්. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාදාමය සාර්ථක විය හැකියි කියලා මම විශ්වාස කරනවා.
මෙහිදී හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේ බලගතු කථානායකවරයෙක් සහ කාර්යක්ෂම ලේකම් කාර්යාලයක් ද ඉදිරි පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍ය බවයි. කාර්යක්ෂම පාර්ලිමේන්තු ලේකම් කාර්යාලක අවශ්‍යතාව තව දුරටත් පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ ශක්තිමත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයක් නොමැති තැන පාර්ලිමේන්තුව අයාලේ යාම බොහෝ විට සිදුවන බවයි.
නවකයින්ගෙන් පාර්ලිමේන්තුව පිරී යාම ගැටලුවක් නොවන තත්ත්වය තුළ ආණ්ඩුවට ඇති වගකීම පැහැදිලි කරමින් කේසරලාල් ගුණසේකර පෙන්වා දුන්නේ මෙම නවක මන්ත්‍රීවරුන්ට නිසි අවබෝධයක් සහ අවස්ථාවන් ලබා දෙමින් ඔවුන්ගෙන් නිසි ප්රායෝජන ගැනීම ආණ්ඩුව සතු වගකීමක් බවයි.
නවක මන්ත්‍රීවරුන් හමුවේ ද අභියෝග හා වගකීම් රැසක් පවතින බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා ඔවුන් තුළ ආකල්පමය වෙනසක් සිදුවීම අනිවාර්යය බව අවධාරණය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ගත් තීන්දුව අනුව කටයුතු කිරීම පාර්ලිමේන්තුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව පැහැදිලි කරමින් කේසරලාල් ගුණසේකර තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද සඳහන් කළේය, ආණ්ඩු පක්ෂය කුමක් වුවත් හොඳ වැඩක් කරනවා නම් විපක්ෂය ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ යුතු වුවත් මේ දක්වා අපේ රට තුළ එවැනි සම්ප්රදායක් බිහිවෙලා නැහැ. අපි මුහුණ දෙන ලොකුම අභියෝගයක් තමයි ඒක. ඒ වගේම මම විශ්වාස කරනවා අපිට ගමනක් යන්න හොඳ පාර්ලිමේන්තුවක් ඇති වුණොත් ඒක රැස්වන දින ගණන තවත් දීර්ඝ කළ යුතුයි. දින අටක් රැස්වන පාර්ලිමේන්තුවකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වගේම කමිටු ආදියත් වඩාත් සක්‍රීය හා කාර්යක්ෂම කළ යුතුයි. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව වෙනසක් වෙනුවෙන් තමන්ගේ බහුතර කැමැත්ත පළ කළා. ජනතාවගේ වෙනසක් වෙනුවෙන් තිබෙන කැමැත්ත, ප්‍රාර්ථනාව ඉටුවන ආකාරයට ජනතාව සහ ඉදිරි පාර්ලිමේන්තුව කටයුතු කරනවාද? නැද්ද? කියන එක මත තමයි ආණ්ඩුවේ වගේම රටේ අනාගතයත් තීරණය වෙන්නේ.
සටහන - තුෂාල් විතානගේ