කෘෂි, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර  තුන තුළ ආණ්ඩුව අසාර්ථක වුණොත් රාජ්‍ය අසාර්ථක වෙනවා – සමාජ හා දේශපාලන විශ්ලේෂක හරීන්ද්‍ර බී. දසනායක

harindra-b-dasanayaka

10 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණය පසුගිය නොවැම්බර් මස 14 වැනි දා නිමාවට පත්විය. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණය සමඟ මහ මැතිවරණයෙන් ද ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කළ ද එම පක්ෂය විසින් ද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්ත්‍රී ආසන 159ක ‘අති විශාල‘ බලයක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. මේ සමඟ 2/3ක බහුතර බලය ඉක්මවා ගිය ‘සුවිශේෂ බලයක්‘ ජාතික ජන බලවේගය ආණ්ඩුවට හිමිව ඇත. එය මෑත යුගයේ, එනම් 1977 මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ ඕනෑම ආණ්ඩුවක් විසින් දිනාගත් දැවැන්ත ම පාර්ලිමේන්තු බලය වන හෙයින් ‘මහ මැතිවරණයේ ප්‍රතිඵල රටට කොහොමද ?‘ යන මැයෙන් පුළුල් සංවාදයක් ද මේ වන විට නිර්මාණය වී ඇත.

මෙම පසුබිම හමුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව‘ කාලීන සංවාද මාලාවේ ‘මහ මැතිවරණයේ ප්‍රතිඵල රටට කොහොමද ?‘ යන තේමාව යටතේ පවත්වනු ලැබුවේ ය. දේශපාලන හා සමාජ විශ්ලේෂක හරීන්ද්‍ර බී. දසනායක මහතා විසින්  විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

සමාජ හා දේශපාලන විශ්ලේෂකයෙකු වන හරීන්ද්‍ර බී. දසනායක පෙන්වා දුන්නේ ජාතික ජන බලවේගය මහ මැතිවරණයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබාගත් බවයි. මහ මැතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවා ඉල්ලා සිටියේ 2/3ක බලයක් ඉක්මවා ගිය බලයක් නොව ‘ශක්තිමක් ජනවරමක්‘ වුවත් ජනතාව ඒ ගැන ද නොකතා කටයුතු කළ බව හරීන්ද්‍ර මෙහිදී සිහිපත් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් හරීන්ද්‍ර මෙසේ ද සඳහන් කළේය, ‘ජනතාව හිතුවා ආණ්ඩුවට 2/3කට වඩා දෙන්න ඕනෑ කියලා. මහ මැතිවරණය අවසන් වුණාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්, ටිල්වින් සිල්වා පවා කිව්වේ ‘තම පක්ෂය ජනතාවගෙන් තුනෙන් දෙකක බලයක් ඉල්ලා නොසිටි නමුත් ජනතාව එකී බලය ලබා දී ඇති තත්ත්වය තුළ තමන් ඒ ගැන වඩාත් සංවේදී වන බවයි. ඒ සංවේදීත්වය ඉතා ම වැදගත්. ඒක අගය කළ යුතු සංවිඥානික බවක්. මොකද මීට කලින් 2020 දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට 2/3කට ආසන්න බලයක් ලබා දුන් විට ඒ ආණ්ඩුවෙන් ප්‍රදර්ශනය වුණ ‘උද්දච්ච බව‘ මේ ආණ්ඩුවෙන් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. භාෂාමය වශයෙන් ඒක ප්‍රකාශ නොවීම ඉතාම අගය කළ යුතු දෙයක් ලෙස මම සලකනවා“

2020 දී සහ 2024 දී තමන් තෝරා ගන්නා ආණ්ඩුවට ජනතාව විසින් විශාල බලයක් ලබා දුන්නා පමණක් නොව උතුරු – නැගෙනහිර පළාත්වලින් ද ඉහළ ජයග්‍රහණයක් ලබා දුන් බව මෙහිදී හරීන්ද්‍ර සිහිපත් කරමින් ඔහු එම ප්‍රවණතාව තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද සඳහන් කළේය,

“ මීට පෙර මේ ප්‍රවණතාව තිබුණේ 1994 මහ මැතිවරණයේ දී. 1994 මහ මැතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහියංගණය මැතිවරණ කොට්ඨාශය හැර සියලු මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය කළා. ඒ කාලේ යාපනය දිස්ත්‍රික්කයේ වන්නියේ මැතිවරණයක් නොපැවැත් වුණ නිසා එම දිස්ත්‍රික්කය ගැන කිසිවක් කීමට නොහැකියි. ඒ අර්ථයෙන් ගත් විට පවා 2024 මහ මැතිවරණ ජයග්‍රහණය ඓතිහාසිකයි“

ආණ්ඩුවට 2/3ක බලය පවා ඉක්මවා ගිය ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් වත්මන් සමානුපාතික මැතිවරණ ක්‍රමය ගැන මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළ හරීන්ද්‍ර පෙන්වා දුන්නේ 5%ක් පමණ ඡන්ද ලබා ගන්නා පක්ෂයකට පවා පාර්ලිමේන්තු නියෝජනය සහතික කරන වත්මන් සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ පවා පසුගිය මහ මැතිවරණ ජයග්‍රහණය සුවිශේෂ බවයි. මෙම සුවිශේෂත්වය තව දුරටත් පැහැදිලි කළ හරීන්ද්‍ර මෙසේ ද කීවේය.

“දැන් ජනතාව තේරුම් අරගෙන තිබෙනවා මැතිවරණ ක්‍රියාවලිය තුළ නෛතික, ගණන් හැදීමේ ක්‍රමවලින් එන බාධක බිඳ ගෙන ගොස් ඡන්දය ප්‍රකාශ කරන්න. මැතිවරණ ක්‍රම නිර්මාණය කරන්නේ එක ප්‍රතිඵලයක් දිහා බලාගෙන. එවැනි තත්ත්වයකදී ‘ජනතාව යන්ත්‍ර වාගේ ක්‍රියා කරනවා‘ කියලා උපකල්පනය කරනවා. නමුත් ජනතාව ටික කාලයක් යන කොට යමක් ඉගෙන ගන්නවා. සිස්ටම් වලින් තම දුරටත් තමන්ව පාලනය කළ නොහැකි බව, මෙහෙයවිය නොහැකි බවත් ඒවා අභිබවා යා යුතු බවත් ඔවුන් වටහා ගන්නවා. 2020 සහ 2024 මහ මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නේ ඒ ‘සමාජ සවිඥානිකත්වය‘ යි. මේක සමාජ විද්‍යාත්මක කරුණක්. පද්ධති මගින් සාමූහික විඥානය පාලනය කරන්න පුළුවන් යම්කිසි සීමාවක් දක්වා පමණයි“

සමානුපාතික මැතිවරණ ක්‍රමයෙන් ‘එක් නරක දෙයක්‘ කළ බව හරීන්ද්‍ර මෙහිදී පෙන්වා දුන් හරීන්ද්‍ර එම තත්ත්වය මෙසේ පැහැදිලි කළේය, ‘‘සමානුපාතික මැතිවරණ ක්‍රමයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට, ශ්‍රීලනිපය හා එජාපයට උතුරු – නැගෙනහිර මැතිවරණ ආසන දිනා ගන්න පුළුවන්කම තිබුණා. නමුත් සමානුපාතික නියෝජනය ක්‍රමය සහ තවත් සමාජ, දේශපාලන කාරණාවල බලපෑමෙන් මේ තත්ත්වය දුර්වල වුණා. ඒ වෙනුවට උතුරු – නැගෙනහිර පදනම් කරගත් දේශපාලන පක්ෂ හා සන්ධානගත වීමෙන් පමණක් මේ පළාත් වල මැතිවරණ ජයග්‍රහණ ලබා ගැනීම අනිවාර්යය වුණා. මේක ධනාත්මක තත්ත්වක් නොවෙයි. ඒ හරහා ‘ජාතික දේශපාලන අවකාශය‘ සීමා කළා“

මෙහිදී හරීන්ද්‍ර පෙන්වා දුන්නේ පසුගිය මහ මැතිවරණය හරහා යළිත් පෙර පැවැති ජාතික දේශපාලන අවකාශයට දොරගුළු විවර වෙමින් පවතින බවත් එය ආරක්ෂා කර ගැනීම ද වැදගත් බවයි. 2015 සිට 2024 දක්වා ගත වූ දශකයක කාලය තුළ ‘ස්ථාවර ආණ්ඩුව‘ පිහිටුවීමට නොහැකි වූ බව සාකච්ඡාව තවත් මානයකට ගෙන යමින් හරීන්ද්‍ර පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් හරීන්ද්‍ර සඳහන් කළේ ‘2020 සහ 2024 මහ මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නේ ස්ථාවර ආණ්ඩු වලට ජනතාව කැමැත්තක් දක්වන බවයි.

‘මම තවත් කාරණයක් මෙහිදී සිහිපත් කළ යුතුයි. ජනතාව ‘ක්‍රමයේ වෙනසක්‘ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළේ මේ මැතිවරණයේ දී පමණක් නොවෙයි 2020දීත් ඉදිරිපත් වුණා. ඒ වගේම ‘දේශපාලන ප්‍රභූ පංතිය‘ ඉවත් කිරීම යන සටන් පාඨය දකුණේ වගේම උතුරෙත් ජනප්‍රිය වුණ බව පේනවා. ඒ නිසා 2024 මහ මැතිවරණ ප්‍රතිඵලය පුදුම විය යුතු එකක් නොවෙයි. ඒක මෙපමණ පමා වුණේ ඇයි ? කියන එකයි පුදුමේ. අපි දන්නවා ආර්ථික අර්බුදයක් හමුවේ දශකයක පමණ කාලයක් පුරා පවතින දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වෙනවා. අපි මේ දේශපාලන අස්ථාවරත්වය හරහා ගිහින් තමයි ආර්ථික අර්බුදයට ආවේ. ඒ නිසා මේ අස්ථාවරත්වය කොපමණ කාලයක් පවතීද කියලා අපිට අනාවැකි කියන්න බැහැ. නමුත් අපේ ප්‍රාර්ථනාව වන්නේ ඒක මේ සමඟ අවසන් විය යුතු බවයි“

ජනතාව සහ රජය අතර ‘සමාජ ගිවිසුමක්‘ පවතින බවත් සමාජ සුබසාධනය මෙහි ප්‍රමුඛ සාධකයක් බවත් පෙන්වා දුන් හරීන්ද්‍ර මෙහි මූලිකාංග තුනක් පවතින බවත් කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය හා අධ්‍යාපනය යන මූලික ක්ෂේත්‍ර තුන තුළ ජනතාවට නො රිදෙන ලෙස කටයුතු කිරීම මේ පදනම අනුව රජයේ වගකීම බවත් මෙහිදී හරීන්ද්‍ර අවධාරණය කළේය. ඔහු මේ තත්ත්වය තව දුරටත් මෙසේ පැහැදිලි කළේය.

“මේ ක්ෂේත්‍ර තුන තුළ සිදුවන කැළඹීම් ජනතාවට වඩාත් රිදවන බව මම හිතනවා. ඒ නිසා මෙහි ක්ෂේත්‍ර තුන තුළ බරපතළ ගැටලු, කැළඹීම් ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතු ආකාරය ගැන රජය කල්පනා කළ යුතුව තිබෙනවා. ඊට හේතුව තමයි පසුගිය වසර පහත තුළ මේ කියන ක්ෂේත්‍ර තුන තුළ බරපතළ ලෙස විශ්වාසය බිඳ වැටුණා. එවැනි කාලයක් මීට පෙර තිබුණා ද කියලා මම දන්නේ නැහැ. කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා මෙරට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් ම බිඳ වැටුණා, ඖෂධ සම්බන්ධ ගැටලු නිසා රෝහලකට යාම පවා බියජනක වුණා, දරුවෙක් පාසල් යවන්න බැරි තරමට පොත්, සපත්තු ගණන් ගියා. මේ තත්ත්වය තුළ මූල්‍ය විනය, සමාජ විනය ගැන සාකච්ඡා කරන කොට මම ඉහතින් දක්වන ලද ක්ෂේත්‍ර ගැන වඩාත් සංවේදීව කටයුතු කළ යුතුව තිබෙනවා. එසේ කිරීමට නොහැකි වුණොත් නැවතත් රාජ්‍ය අස්ථාවර වීමක් සිදුවිය හැකියි“

| තුෂල් විතානගේ