විදේශීය සංක්‍රමණයන් නීති විරෝධී ලෙස මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව වෙත රැගෙන යාම - (අපායේ කතාව 16)
“ට්‍රාන්” ක්වාලාලම්පූර් නගරය වෙත පිවිස තිබුනේ වියට්නාමයේ උතුරු මැද පළාතේ සිටය. ඒ 2018 වර්ෂයේ මාර්තු මාසයේදීය. 20 හැවිරිදි විවාහකයෙකු වූ ට්‍රාන්ගේ බලාපොරොත්තුව වූයේ ඕස්ට්‍රේලියාව වෙත පිවිස යහමින් මිල මුදල් උපයාගෙන නැවත තම පවුල වෙත පිටත්ව යාමය. වියට්නාමයේ සිට අයදුම් කිරීම හරහා ඕස්ට්‍රේලියාව වෙත සංචාරය කිරීම දුෂ්කර බව දැන සිටි ඔහුට ඒ සඳහා වියට්නාමයේ සංචාරක තැරැවුකරුවෙකුගේ සහය පැතීමට සිදුවිය. තැරැවුකරුවා විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 50,000 ක් අය කරමින් ට්‍රාන් මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත රැගෙන විත් තිබුණේ දෙසතියක් තුළ මැලේසියාවේ සිට ඕස්ටට්‍රේලියාවේ මෙල්බන් (Melbourne- Australia) වෙත පිටත් කොට හරින බවට පොරොන්දු දෙමිනි. නමුත් මාස හයකට ආසන්න කාලයක් ගතවන තුරුත් ගමනේ දෙවන අදියර ක්‍රියාත්මකව තිබුණේ නැත. රැකියා නියෝජිතයන් නිතර පැවසුවේ ගමන සඳහා සියල්ල සූදානම් බවය. නමුත් එය කිසිවිටෙක යතාර්ථයක් බවට පත් නොවුනේය. වීසා කටයුතු සඳහා බව පවසමින් රැකියා නියෝජිතයන් විසින් ට්‍රාන් සතු වියට්නාම් ගුවන් ගමන් බලපත්‍රයද මැලේසියාවේදී ඔවුන් සතු කොටගෙන තිබූ අතර එම වසරේ අගෝස්තු මාසය වනවිට ඔහුගේ මැලේසියානු සංචාරක වීසා වලංගු කාලයද ඉක්මවා බොහෝ කල් ගතව තිබුණේය. දෛනිකව ඩොලර් 20 බැගින් නවාතැන් ගෙන සිටි හෝටලයට ගෙවිය යුතු බැවින් ඔහුගේ අත රැඳි මුදල්ද සිඳී ගොස් තිබුණේය. අවසානයේ ට්‍රාන්ගේ ඕස්ටේලියානු සිහිනය බොඳවී ගොස් මැලේසියාවේ හෝටල් කාමරයක් තුළ නිරායාසයෙන් සිරකරුවෙකු බවට පත්ව තිබුණේය. සිය ගුවන් ගමන් බලපත පවා අහිමිව, නීති විරෝධී සංක්‍රමණිකයෙකු බවට පත්ව සිටි අතර එදිනෙදා වියදමට මුදල් පවා නොමැතිව බොහෝ අසරණ තත්ත්වයකට පත්ව සිටියේය.
ට්‍රාන් හැරුණු කොට ඔහු වැනිම ගණනින් 37 කු වූ වියට්නාම් ගැහැනුන් සහ පිරිමි පුද්ගලයින් පිරිසක් එම හෝටලය තුළම ඔහු සමඟ රැදී සිටි බව කියැවෙයි. ඒ සියලුදෙනාම රැකියා නියෝජිතයන් විසින් ඕස්ට්‍රේලියා සිහිනය ඔස්සේ මැලේසියාව වෙත රැගෙන ආ පිරිස් වූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් ගමන සඳහා වූ විශාල මුදල රැකියා නියෝජිතයන් වෙත ලබා දී තිබුණේ සිය ගේ දොර වතුපිටි ආදී දේපළ උකසට තබා හෝ විකුණා දැමීම මගිනි. ඔවුනට ඕස්ට්‍රේලියාවේ රැකියාව කිරීම මගින් උපයා තම දේපළ නැවත නිදහස් කරගත හැකි බවට විශ්වාසයක් තිබෙන්නට ඇත. නමුත් අනපේක්ෂිත ලෙස ගමනේ අතර මග වූ මැලේසියාවේ හෝටලයක් තුළ ගමන් ලියකියවිලි සහ මුදල් පවා අහිමිව අපේක්ෂා භංගත්වයට සහ මානසික අසහනයෙන් යුතු සිරකරුවන් වන්නට ඔවුන්ට සිදුවී තිබිණ. දින කිහිපයකට පසුව ට්‍රාන් සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු රැකියා නියෝජිතයන් වෙතින් සිය ගුවන් ගමන් බලපත් නැවත ලබාගෙන ඕස්ට්‍රේලියානු සිහිනය අතහැර වියට්නාමය බලා ආපසු පිටව ගොස් තිබූහ.
ඒ සෙසු පිරිස තව දුරටත් ක්වාලාලම්පූර් හි හෝටල් කාමර තුළ රැඳී සිටියදීය. නැවත තම ගම් බිම් වෙත ගමන් ගත් ට්‍රාන් ඇතුළු පිරිසට මැලේසියාවේ තවදුරටත් රැදී සිටි වියට්නාම් ජාතිකයක් පිරිස ඕස්ට්‍රේලියාව වෙත ලඟා වූ බවට කිසිදු තොරතුරක් ලැබී තිබුණේද නැත. මෙම සිදුවීම ඕස්ටෙලියාවේ ඒ.බී.සී පුවත් සේවය (abc news service) වර්ෂ 2018 සැප්තැම්බර් මාසයේදී වාර්තා කොට තිබූ අතර, මෙවැනි පුවත් හරහා මිනිස් ජාවාරම්කරුවන් මැලේසියා භූමිය සිය කූට ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා යොදාගන්නා අකාරය පැහැදිළි වෙයි.
වියට්නාම් ජාතිකයන් පමණක් නොව, කලාපීය රටවල සහ ලොව විවිධ රටවල සංක්‍රමණිකයන් බහුතරයක් මැලේසියාව තුළට සංක්‍රමණය වන්නේ, ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීම මතය. ඒ සඳහා නොයෙකුත් මාර්ග සංක්‍රමණික ජාවරම්කරුවන් විසින් නිර්මාණය කරගෙන ඇත. ප්‍රවාහන මාධ්‍ය, ප්‍රවාහන මාර්ග, දේශසීමා තරණය කිරීම සදහා වූ උපක්‍රම, ගමන අතරතුර ආහාර පාන සපයාගැනීම ආදී සම්පූර්ණ මෙහෙයුම ජාවාරම්කරුවන් විසින් සූක්ෂම ලෙස සැළසුම් කොට තිබේ. ඕස්ට්‍රේලියාව පහසු ගමනාන්තයක් බවට පත්කරගන්නට මැලේසියාව තුළ ක්‍රියාත්මක මිනිස් ජාවාරම් ජාලය සමත් බවට සංක්‍රමණිකයන් අතර ද විශ්වාසයක් ඇත. භූගෝලීය පිහිටීම අතින්ද ඕස්ට්‍රේලියාව බලා ගමකරන්නෙකු හට මැලේසියාව කදිම නවාතැන් පළකි.
ලොව සියලු රටවලට අයත් ගුවන් ගමන් බලපත්, ඒවාට ලඟාවිය හැකි ජාත්‍යන්තර ගමනාන්ත අනුව “හෙන්ලි” වර්ගීකරණය යටතේ ශ්‍රේණි ගත කොට තිබේ. ඒ අනුව වර්ෂ 2020 වන විට මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රය එම වර්ගීකරණයේ පසුවන්නේ 14 වැනි ස්ථානයේය. එය මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රය වෙත පැහැදිලි ජාත්‍යන්තර වරප්‍රසාද හිමිවන තත්ත්වයකි. මැලේසියානු රජය තම පුරවැසියන් සඳහා නිකුත් කරනු ලබන ගුවන් ගමන් බලපත්‍රය හරහා ජාත්‍යන්තර ගමනාන්ත 178 ක් වෙත පූර්ව වීසා අවශ්‍යතාවයෙන් නිදහස්ව ගමන් කළ හැකිය. ඒ අතර ප්‍රංශය, ජර්මනිය, ස්වීස්ට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් හතලිස් දෙකක්ද ඇතුළත්ය. මැලේසියානුවන් හට සිය ගුවන් ගමන් බලපත්‍රය හරහා ඕස්ට්‍රේලියාව වෙත ගමන් කිරීමද පහසු කටයුත්තකි.
විදේශීය සංක්‍රමණයන් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව වෙත රැගෙන යාම සඳහා මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම වරප්‍රසාද ලත් මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයද යොදාගනු ලබන බවට වාර්තා වෙයි. ඒ විදේශීය සංක්‍රමණිකයන් සඳහා ව්‍යාජ මැලේසියානු අනන්‍යතාවයක් ලබා දී ඔවුන් සඳහා මැලේසියානු ගුවන් ගමන් බලපත් සකසා දීම මගින්ය. මේ මගින් මැලේසියානු නොවන විදේශීය සංක්‍රමණිකයෝ මැලේසියානුවන් ලෙස පෙනී සිටිමින්, ව්‍යාජ ලෙස සැකසූ මැලේසියානු ගුවන් ගමන් බලපත් භාවිතා කොට ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාව සහ වෙනත් ජාත්‍යන්තර ගමනාන්ත වෙත සංචාරකයින් ලෙස ලගාවෙමින් සිටිති. මැලේසියාව තුළ ව්‍යාජ ලෙස මැලෙසියානු වලංගු ගුවන් ගමන් බලපතක් මැලේසියානු රින්ගිට් 3,850 ක් වැනි මුදලකට ජාවරම්කරුවන් හරහා සකසා ගත හැකි බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කොට තිබේ.
සංචාරය සඳහා ඕස්ට්‍රේලියාව වෙත පිවිසීම වෙනුවෙන් වූ මැලේසියානුවන්ගේ ඉල්ලුම පසුගිය වසර කිහිපය තුළ සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද ඕස්ට්‍රේලියානු රජයේ ආරංචි මාර්ග මාධ්‍ය වෙත හෙළි කොට ඇත. මැලේසියානු ගුවන් ගමන් බලපත් හිමි පුද්ගලයන් දහස් ගණනක් ඕස්ට්‍රේලියානු ගොවි බිම් තුළ සැඟවී නීති විරෝධී ලෙස සේවයේ යෙදී සිටින බවද වාර්තා වෙමින් තිබේ. සමස්ථයක් ලෙස ඕස්ට්‍රේලියානු රජය මැලේසියානු ගුවන් ගමන් බලපත්‍ර දරන ගුවන් මගීන් තම රට තුළට ඇතුළු කරගැනීමේදී වෙනදාට වඩා සැළකිල්ලක් යොමු කරන තත්ත්වයටම ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ ක්‍රියාවලීන් හේතු සාධක වී ඇත. මෙලෙස විවිධ ව්‍යාජ ක්‍රම හරහා ඕස්ට්‍රේලියාවට පිවිසීම සඳහා පහසුකම් සපයන මැලේසියානු මිනිස් සහ සංක්‍රමණික ජාවාරම් ජාලයද විදේශීය සංක්‍රමණිකයන් මැලේසියාව ජාත්‍යන්තර ගමන් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ප්‍රබල සාධකයක් බවට පත්ව තිබේ.
මීට අමතරව සිංගප්පූරුව, තායිලන්තය, ආදී මැලේසියාවට යාබද රාජ්‍යයන් වෙත ගුවන් මගින්, මුහුදෙන් හෝ ගොඩමිබ් දේශසීමා හරහා ලඟාවන සංක්‍රමණික පිරිස් ද මැලේසියාව හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන මුහුදු මාර්ග ඔස්සෙ හෝ ව්‍යාජ ගුවන් ගමන් ලියකියවිලි උපකාරයෙන් ඕස්ට්‍රේලියාව වෙත පිවිසීමට උත්සාහ දරමින් සිටිති.
ඉරාන ජාතික සයිඩ් (Seyed Paknejad) වර්ෂ 2013 දී මැලේසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන්නේ ව්‍යාජ ලෙස ජාත්‍යන්තර ගමන් ලියකියවිලි පිළියෙල කිරීම සම්බන්ධ චෝදනාවක් මතය. ඔහු එවැනි ජාවාරම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත වඩාත් උවමනා පුද්ගලයෙකුව සිටි බව කිවැවෙයි. ඉරාන ජාතිකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සැකසීම මගින් ඔහු තම සේවාව ජාත්‍යන්තර මිනිස් ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ත්‍රස්තවාදීන් වෙත සපයා ඇති බවට කරුණු අනාවරණය කරගන්නා ලදි. විවිධ රටවල් 14 ක පුද්ගලයන් 3,000 ක් පමණ සංඛ්‍යාවක් වෙත ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත් සකසා දී ඇති බව ආරක්ෂක අංශ විසින් හෙළි කරගන්නා ලදි. ගුවන් ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සැකසීම සදහා මැලේසියානු රින්ගිට් 3000 ත්- 4000ත් අතර මුදලක් අයකොට ඇති ඔහු වීසා සමග ගමන් බලපත්‍රය සැකසීම සඳහා මුදලින් රින්ගිට් 10,000ක් පමණ අයකොට තිබේ. ඔහුගේ සේවා දායකයින් බොහෝවිට මැදපෙරදිග රටවල් හරහා යුරෝපය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් ජනපදය ආදී රවල් බලා පිටත්ව ගිය පිරිස් වෙති. සයිඩ්ගේ උපදෙස් පරිදි බොහෝ ගුවන් මගීන් තම ගුවන් ගතවීමේ කටයුත්ත ආරම්භ කොට තිබුනේ තායිලන්ත ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිටය. ඒ ආරක්ෂක අංශවල අවධානයෙන් මිඳීම සඳහා යැයි කියවෙයි. වසර 5ත්-10ත් අතර කාලයක් පුරා තායිලන්තයේ සහ මැලේසියාවේ ස්ථානගතව සිය ජාවාරම මෙහෙයවූ සයිඩ් ඒ හරහා ඉපයූ මුදල මැලේසියානු රින්ගිට් 9,000,000 ක් පමණ වන බව ගණන් බලා තිබේ. වර්ෂ 2015 දී තායිලන්ත බලධාරීන්ගේ ඉල්ලීම මත මැලේසියාව විසින් ඔහුව තායිලන්තය වෙත භාරදී ඇති අතර එහිදී සිදුවූ නෛතික ක්‍රියාවලියකින් පසුව වසර පහක් දක්වා සිරගතකොට තිබේ.
ශ්‍රී ලාංකික තරුණයෙකු වූ කජනන්ගේ (Kajanan) එකම සිහිනය වූයේ නවසීලන්තයට සංක්‍රමණය වී රැකියාවක් කිරීමයි. ඒ සඳහා මගක් සොයමින් සිටින විට ඔහුට ජෝගරාජා (Jogarajah) නම් තැනැත්තා මුණගැසීම සිදුවෙයි. ජෝගරායා කජනන්ගෙ නවසීලන්ත සිහිනය සැබෑ කරන්නට ඉදිරිපත්වන අතර ඔහු විසින් කජනන්ගේ ජායාරූප ඉන්දියානු ජාතික ජෝන් (Jhon) නම් වූ පුද්ගලයෙකුට අයත්ව තිබූ ඉන්දියානු රජය විසින් නිකුත් කරන ලද ගුවන් ගමන් බලපත්‍රයකට සූක්ෂම ලෙස සම්බන්ධ කොට දුන්නේය. එම ගුවන් ගමන් බලපතත් රැගෙන සිංගපූරුව වෙත පියාසර කරන ලෙස ජෝගරාජා විසින් කජනන් වෙත උපදෙස් ලැබිණි. ඒ අතරම ජෝගරාජාගේ ජාත්‍යන්තර ජාවාරම් ජාලයේ ප්‍රබල චරිතයක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙත ජෝගරාජාවෙතින් පණිවිඩයක් යැවුනේ සිංගපූරුවට පැමිණ කජනන් වෙනුවෙන් සිංගපූරුවේ සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් (Auckland-New Zealand) නගරය වෙත ගුවන් ටිකට් පතක් මිලදීගන්නා ලෙසය. ඒ වනවිට කම්බෝජයේ (Cambodia) රැදී සිටි නමින් “කේපින් මාර්ක් ජෝන්” (Keeping Mark John) නම් වූ එම බ්‍රිතාන්‍ය ජාතිකයා සිංගපූරුවට පැමිණ ජෝන් නමට ඕක්ලන්ඩ් වෙත ගුවන් ටිකට් පතක් මිලදීගෙන තිබුණේය. ඉතා සැලසුම් සහගතව කෙරුණ මෙම වංචාවේ වැදගත්ම ජවනිකාව රඟදැක්වූයේ සිංගප්පූරු චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වැසිකිලි කාමරයක් තුළය. ජෝන් නමින් වූ ව්‍යාජ ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍රය අතැතිව සිටි ලාංකික කජනන් ගුවන්තොටුපොළ අංක තුන පර්යන්තයේ වැසිකිළිය තුළට පිවිසියේය. ජෝන් නමට නිකුත් කළ සිංගපූරුවේ සිට ඕක්ලන්ඩ් දක්වා ගමනට අදාල වූ ගුවන් පර්යන්ත පිවිසුම් පත (Boding Pass) වැසිකිලි කාමරයේ බේසමක් (sink) මත විය. එය අතට ගත් කන්ජන් ඒ සඳහා පොරොන්දු ගාස්තුව වූ ඇමරිකානු ඩොලර් 400 ක මුදල එම බේසම මතම තබා වැසිකිළියෙන් ඉවතට පැමිණියේය. බ්‍රිතාන්‍ය ජාතික මාර්ක් ජෝන් එම මුදල එතැනින් තමා සතු කරගන්නට ඇත. කෙසේ හෝ වෙනකෙකුට අයත් පර්යන්ත පිවිසුම් පත සහ වෙනෙකෙකුට අයත් නමුත් තම ජායාරූපය සහිත ගුවන් ගමන් බලපතද ගෙන කන්ජන් නවසීලන්තය බලා පියාසර කරන ගුවන්යානා ප්‍රවේශ දොරටුව වෙත ගමන් ගත්තේය. නමුත් චැන්ගි ගුවන්තොටුපොළේ සේවය කළ ආගමන විගමන නිළධාරීන් හට කජනන් ඉදිරිපත් කළ ගුවන් ගමන් ලියකියවිලි ව්‍යාජ ඒවා බව අවබෝධ කරගත හැකි විය. කජනන් එතැනදීම අත්අඩංගුව පත්විය. ඔහු දුන් තොරතුරු ඔස්සේ බ්‍රිතාන්‍ය ජාතික ජාවාරම්කරු වූ කේපින් මාර්ක් ජෝන්ද සිංගපූරු ආරක්ෂක අංශ අත්ඩංගුවට පත්විය. ඒ වර්ෂ 2016 සැප්තැම්බර් මාසයේදීයි. සිදුකෙරුණ අධිකරණය ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලාංකික කජනන් සහ බ්‍රිතාන්‍ය ජාතික මාර්ක් ජෝන් මාස දොළහක් සඳහා සිංගපූරුව තුළ බන්ධනාගාරගත කෙරිණ. දඩුවම් කාලය තුළ අනාවරණය වූයේ අදාළ බ්‍රිතාන්‍ය ජාතිකයා මේ ආකාරයේම වූ වංචනික ක්‍රියාවලියකට ජපානයේ තොකියෝ නගරයේදීද එම වසරේම යොමුවී තිබූ බවය.
මේ ආකාරයේ වූ සංක්‍රමණික ජාවාරම්කරුවන්ගේ සූක්ෂම ක්‍රියාවලීන් අවබෝධ කරගත හැකි සිදුවීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මගින් සකසන පර්යේෂණ වාර්තා තුළ ද දැක ගත හැකිය. ඒ සියල්ල හරහා පැහැදිලි වන්නේ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ජාත්‍යන්තර ජාලගතවීමක් හරහා ඉතා සංවිධානාත්මක ලෙස සංක්‍රමණික ජාවාරම සිදුවන බවයි. එහෙයින් එම ජාවාරම “ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ” ගනයෙහි ලා සැලකෙයි.
සංවිධානාත්මක අපරාධ (Organized Crime) අර්ථ දැක්වීම සදහා විවිධ නිර්චන ඉදිරිපත් වී ඇති අතර එම සෑම නිර්වචනයක් තුළම විශේෂයෙන් පොදු ස්වාභාවයන් කිහිපයක් දැක ගත හැකිය. සංවිධානාත්ම අපරාධයක මූලික අරමුණ වන්නේ කිසියම් හෝ ආකාරයක නීතිවිරෝධී ක්‍රියාවලියක් හරහා ආදායම් ඉපැයීමයි. ඒ තුළ පුදගලයන් කිහිප දෙනෙකු ජාලගතව ක්‍රියාකරී ලෙස සැලසුම් සකස් කොට ක්‍රියාවෙහි යොදවනු ලබන අතර අනිවාර්ය්‍ය වශයෙන් එම ක්‍රියාවලිය හරහා කිසියම් හෝ ජන ප්‍රජාවක් අගතියට පත්වීම සිදුවේ. මෙම පොදු ලක්ෂණයන් ඕනෑම ආකාරයක සංවිධානාත්මක අපරාධයක් තුළ හඳුනා ගත හැකිය. නමුත් සංවිධානාත්මක අපරාධ සඳහා වූ නිර්වචන වෙනස්වන සාමාජීය, දේශපාලනික සහ තාක්ෂණික ආදී වූ සාධකය මත ඇතැම් විට යල්පැන ගිය ඒවා බවට පත්වන බව ඒ පිළිබදව විශේෂඥ දැනුම ඇති ජාත්‍යන්තර ආයතන පෙන්වා දෙයි. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ වූ කාර්යාලය (UNODC) ඒ පිළිබදව පැහැදිලි ලෙස විස්තර කර දෙනු ලබයි. එළෙසම සංවිධානාත්මක ගණයේ අපරාධ වෙනත් අපරාධ වලින් වෙන්කර දැක්වීම සඳහා ඔවුන්ගේම වූ නිර්වචනයක් ඇත. සංවිධානත්මක අපරාධයක් යනු, “ආදායම් ඉපැයීම අරමුණ කරගෙන සැළසුම් සහගත ලෙස මිනිස් ප්‍රජාවේ යහ පැවැත්මට හානිදායක වන ආකාරයේ නීතිවිරෝධී ක්‍රියාවලියක් ක්‍රියාවේ යෙදවීමයි, දූෂිත රාජ්‍ය නිළධාරිගේ සහයෝගය මෙන්ම තැතිගැන්වීම්, තර්ජනය කිරීම් හෝ බලහත්කාරකම මගින් අදාල ක්‍රියාවලියේ අඛණ්ඩ තාවය තහවුරු කරගනු ලැබෙයි”
මත්ද්‍රව්‍ය ජාවාරම (Drug trafficking), අවි ආයුධ ජාවාරම (Firearms trafficking), වනජීවී සහ වනාන්තර සම්බන්ධ වූ ජාවාරම් (Wildlife and forest crime), ව්‍යාජ අනුකරණ නිෂ්පාදන ජාවාරම (Counterfeit products trafficking), ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය සහ ජාවාරම් කිරීම (Manufacturing of and trafficking in falsified medical products), සංස්කෘතික උරුමයන් ජාවාරම් කිරීම (Trafficking in cultural property) සහ මිනිස් ජාවාරම (Trafficking in persons and smuggling of migrant) ඉහළ විමර්ශන වලින් පසුව නම් කරන ලද සංවිධානාත්මක අපරාධයන් අතරින් ප්‍රධාන වේ.
ජාත්‍යන්තර මට්ටටමෙන් සිදුවන හෙරොයින්, කොකේන් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම සහ ජාත්‍යන්තර අවි ආයුධ ජාවාරම ලඟට ලොව ප්‍රමුඛවම සිදුවන සංවිධානාත්මක අපරාධය මිනිස් ජාවාරම ලෙස සැළකෙයි. එය මැලේසියාවට පමණක් සීමා වූ ක්‍රියාවලියක් නොවේ. ලොව විවිධ මහද්වීප තුළ, විවිධ කලාප තුළ නොයෙක් ස්වරූපයෙන් මෙම ජාවාරම සිදුවෙමින් තිබෙයි. නමුත් ආසියානු කලාපය තුළ මිනිස් ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන අවධානය දිනා ඇති රාජ්‍යයකි මැලේසියාව. එසෙම අනවසර සංක්‍රමණිකයන්ගේ ජනප්‍රිය ජාත්‍යන්තර ගමනාන්තයක් (Destination Country) සහ පහසු හුවමාරු මධ්‍යස්ථානයක් (Transit Country) බවටද එරට පත්ව ඇත.
අනියම් මාර්ග ඔස්සේ මැලේසියාව වෙත පිවිසෙන සංක්‍රමණිකයන් හට එරට වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් වන්නට තවත් ප්‍රභල සාධකයක් වන්නේ එරට නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන්ගේ දූෂිත ක්‍රියාමාර්ග බවට වාර්තා වෙයි. සංක්‍රමණික ජාවාකාරම්කරුවන් වෙතින් අල්ලස් මුදල් ලබාගෙන විදේශීය සංක්‍රමණිකයන් රට තුළට ඇතුළු කරගැනීමට ඇතැම් දේශසීමා ආරක්ෂක නිළධාරීන් කටයුතු කොට ඇත. දේශ සීමා හරහා මැලේසියාව තුළට සංක්‍රමණය වන අනවසර සංක්‍රමණිකයන්ට හා ඔවුන් මෙහෙයවන සංක්‍රමණික ජාවාරම්කරුවන්ට එම කටයුත්ත වඩා පහසු කරවන්නෙ මැලේසියානු නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන්ගේ මෙම දූෂිත හැසිරීමයි. විවිධ තොරතුරු මූලාශ්‍ර උපුටා දක්වන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධව වූ කාර්යාලය වර්ෂ 2019 දී ප්‍රකශයට පත් කොට ඇති වාර්තාවක (UNODC - Facilitators of Smuggling of Migrants in Southeast Asia:2019) සඳහන් වන්නේ මැලේසියානු දේශසීමා ආරක්ෂක අංශ වළට සම්බන්ධ පුද්ගලයින්ගෙන් 80% දෙනා සංක්‍රමණික ජාවාරම සමඟ බැඳුන විවිධ දූෂණ කටයුතුවළට සම්බන්ධ බවයි. මිනිස් ජාවාරමේ දී පමණක් නොව, මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරමේදීත් එම නිළධාරීන් ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු සිදුකොට ඇත.
එළෙසම මැලේසියානු ආගමන විගමන නිළධාරීන් අතර දූෂණ ක්‍රියා වෙත යොමුවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වී තිබේ. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ඉහත සඳහන් කළ වාර්තාව පෙන්වා දෙන්නේ වර්ෂ 2017 දී ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ සේවය කළ ආගමන විගමන නිළධාරීන් අතුරින් අඩුම තරමින් 40% ක් තරම්වූ පිරිසක් වෙනත් සේවා ස්ථාන වෙත මාරු කොට යවා ඇත්තේ ගුවන්තොටුපොළ තුළ සිදුවන අල්ලස් හා දූෂණ අවම කරගැනීමේ අරමුණින් යුතුව බවයි.
මැලේසියාව තුළට දේශසීමා හරහා ප්‍රවේශවීම පමණක් නොව, එළෙස කුමන හෝ ආකාරයකින් රට තුළට ඇතුළු වූවාට පසුව එරට තුළ රැඳී සිටීමද නීති විරෝධී සංක්‍රමණිකයන් සඳහා අභියෝගාත්මක කටයුත්තකි. ඇතැම් අවස්ථාවල නීතියෙන් සැඟවී සිටීම සඳහා එරට රජයේ නිළධාරීන් වෙත අල්ලස් ගෙවීමට සංක්‍රමණික පුද්ගලයන් හට සිදුවේ. අනවසර සංක්‍රමණිකයන් කම්කරුවන් ලෙස යොදාගෙන ක්‍රියාත්මක වන කර්මාන්ත මැලේසියාව තුළ බහුළය. මිනිස් ශ්‍රමය සඳහා වැයවන පිරිවැය අඩු කරගැනීමේ අරමුණින් ඇතැම් ව්‍යාපාරිකයෝ අනවසර සංක්‍රමණිකයන් සේවයේ යොදවා ගැනීමට වැඩි නැඹුරුවක් දක්වති. එවැනි ස්ථාන හඳුනා ගන්නා නීතිය ක්‍රියාත්මක කරන නිළධාරින්, එවැනි ව්‍යාපාර නීතියෙන් සඟවා තබා ගැනීම සඳහා ව්‍යාපාරිකයන් වෙතින් ලැබෙන අල්ලස් හෝ වෙනත් ප්‍රථිලාභ හරහා පෙළඹෙති.
2017 වසරේ මාර්තු මස 06 වන දින නැගෙනහිර මැලේසියාවේ “සරවක්” ප්‍රාන්තයේදී මැලේසියනූ දූෂණ මර්දන ඒකකය විසින් පුද්ගලයන් 08 දෙනෙකු අත්ඩංගුවට ගනු ලැබෙයි. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු මැලේසියානු පොලිස් නිළධාරීහු තිදෙනකු වෙති. ඉතිරි පුදගලයන් පස් දෙනා අනවසර සංක්‍රමණික පිරිස් සේවකයන් ලෙස යොදාගෙන ව්‍යාපාර කටයුතු සිදුකළ පුද්ගලයෝ වූහ. අත්අඩංගුවට පත් පොලිස් නිළධාරීන්ට එරෙහිව වූ චෝදනාව වූයේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් සේවය කළ ස්ථාන පිළිබඳව දැනුවත්ව සිටි නමුත්, ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සඳහා ව්‍යාපාර හිමිකරුවන් වෙතින් අල්ලස් ලබාගැනීමයි.
මැලේසියාව කේන්ද්‍ර කරගත් මිනිස් ජාවාරම සහ මැලේසියානු රජයේ නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන් අතර සිදුවෙමින් පවතින අනවරත ගනුදෙනුව පැහැදිලිකෙරන ප්‍රවෘත්ති වාර්තා ජාත්‍යන්තර ප්‍රවෘත්ති මූලාශ්‍ර තුළ උවමනා තරම්ය. නමුත් මානව වර්ගයාට එරෙහිව වූ මෙම දූෂිත ගනුදෙනුව පාලනය කරන්නට වර්ෂ 2020 වන විටත් එරට රජය අපොහොසත් වී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙන්වා දෙයි. මිනිස් ජාවාරම පිළිබදව 2020 සදහා වූ ජාත්‍යන්තර වාර්තාව (TRAFFICKING IN PERSONS REPORT JUNE 2020" Department of State- United States) තුළින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙන්වා දෙන්නේ මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සදහා ප්‍රමාණවත්, සාධනීය ක්‍රියාමර්ග මැලේසියානු රජය විසින් ක්‍රියාත්මක කොට නොමැති බවයි. ඒ ඒ රාජ්‍යයන් මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ගනු ලබන උත්සාහයන් පදනම්ව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන වර්ගීකරණයේ මැලේසියාව වර්ග කෙරී ඇත්තෙ “ Tier 2” නැරඹුම් ලේඛන ගත රාජ්‍යයක් ලෙසය” (Tier 2 Watch List). එම තත්වය මැලේසියාව තුළ මානව හිමිකම් සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් අයහපත් චිත්‍රයක් ලෝකය හමුවේ ඉතිරිකරයි.
(ලබන සතියට - යූ.එන් වීසා සහ මගේ දෙවන පලා ඒම - අපායේ කතාව 17)
| රසික සූරියආරච්චි