Glocal Fair ඇතුළු කාර්යාංශයේ වංචා දූෂණ විමර්ශන ආරම්භ කළා

Glocal Fair ඇතුළු කාර්යාංශයේ වංචා දූෂණ විමර්ශන ආරම්භ කළා
  • ඥාතීන් යොදවාගෙන මුදල් එකතු කළ අයුරු හෙළි වී තිබෙනවා - කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ

පසුගිය සමයේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15ට අදාළව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන් බවත්, පසුගිය සමයේ සිටි දේශපාලඥයින් සිය ඥාතින් කාර්යාංශයේ රඳවා තබමින් මුදල් වංචා ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ, (2024.11.12) දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පසුගිය රජය සමයේ අනීතික අයුරින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කළද, දකුණු කොරියානු තානාපති කාර්යාලයේ දැනුම්දීම පරිදි එම රැකියා ලබාදීම නතර කළ බවත්, ඒ අනුව නිකුත් කරන ලද වීසා අවලංගු වන බවත්, වංචනිකයින් බොහෝ පිරිසක් දකුණු කොරියාවේ රැකියා ලබාදන බව පවසා මුදල් වංචාකිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය.

එසේම නිසි ක්‍රමවේදයකින් තොරව ඊශ්‍රායල් රැකියා සඳහා බඳවාගැනීම සඳහා දේශපාලන මැදිහත්වීම සිදුකිරීම හේතුවෙන් මේ වන විටත් ගැටළු රැසක් පැනනැගී ඇති බවත්, මේ වන විට අදාළ ගැටළු නිරාකරණය කිරීම සඳහා පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. විවිධ දේශපාලන අතපෙවීම් හේතුවෙන් පසුගිය සමයේ කාර්යාංශය අපකීර්තියට පත්වී තිබෙන අතර, එම තත්ත්වයෙන් කාර්යාංශය මුදාගැනීම සඳහා තමන් කැපවීමෙන් කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.