ජාතික වාර්තා අතර සිටින ලාංකික ක්‍රීඩිකාවට ගෘහ සේවය උරුම වුනේ ඇයි?

ජාතික වාර්තා අතර සිටින ලාංකික ක්‍රීඩිකාවට ගෘහ සේවය උරුම වුනේ ඇයි?
කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාවේ  හිමිකාරිණිය වූ  සචිනි කෞෂල්‍යා පෙරේරා ක්‍රීඩිකාව ගෘහ සේවය සඳහා විදේශ ගත වී තිබේ.
 
ජාතික වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ යෙදීමට සිදුවන්නේ නම් එය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් බැව් ඇතැමුන් පෙන්වාදෙයි.
 
ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් සිය ආර්ථික ගැටලු විසඳාගැනීම සඳහා රට හැරයාමේ අවස්ථා පසුගිය කාලය පුරා වාර්තා වූ අතර මෙය තවත් එක් සංසිද්ධියක් පමණි.
 
 
රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තාව අවස්ථා 9කදී අලුත්කර ඇති ඇයට, ඒ් බව ඇයගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ද ලියැවී තිබේ. 
 
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්ව තිබුණි.
 
ඒ, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් බවට පෙරමං සලකුණු පෙන්වමින් වුවද, මේ සුවිශේෂී දක්ෂතා පෙන්වූ ඇය මේ වන විට සිය මව්බිම හැරගිහින් වසරකට ආසන්න කාලයක් ගතව තිබේ. 
 
 දිගින් දිගටම එල්ල වූ ආර්ථික පීඩනය කෙළවර වන්නේ, ඇය  ඩුබායි රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක් බවට පත්කරමිනි.