දකුණු කොරියාවේ අධික ජල ගැලුම් - ප්‍රවේශම් වෙන්න!

දකුණු කොරියාවේ අධික ජල ගැලුම්  - ප්‍රවේශම් වෙන්න!

මේ දිනවල දකුණු කොරියාවට බලපා ඇථි අයහපත් කාලගුණික තත්ත්වය නිසා එරට ජන ජීවිතයට තර්ජන එල්ලවී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ අනුව දකුණු කොරියාවට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවූ උමං මාර්ගයක සිරවූ මෝටර් රථ 19 ක සිටින පිරිස් බේරාගැනීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වෙන බවයි විදෙස් පුවත් වාර්තා ඊයේ දිනයේ සඳහන් කර තිබුනේ.

එසේ වුවද, උතුරු පළාතේ චුන්චොන්ග් ප්‍රදේශයේ චොන්ජේ උමගේ සිරවී ඇති මෝටර් රථ තුළ කොපමණ පිරිසක් සිටීද යන්න පිළිබඳව මෙතෙක් වාර්තාවී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දින හතරක් පුරා දකුණු කොරියාවට අධික වැසි පතිත වෙමින් තිබෙන අතර, ඊයේ දිනයේ පමණක් මිලිමීටර 300 කට වැඩි වර්ෂාපතනයක් වාර්තාවී තිබුණි.

මේ වනවිට එරට ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 26 දෙනෙකු මියගොස් 10 දෙනෙකු අතුරුදන්වී තිබේ.

එසේම 7,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවට වාර්තා වේ.

ගතවූ දෙසතිය තුළ ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුලු රටවල් කිහිපයකින් අධික වැසි හේතුවෙන් ගංවතුර සහ නායයෑම් වාර්තාවූ අතර, ඇමරිකාව සහ දකුණු යුරෝපා කලාපයෙන් අධික උෂ්ණත්වයක් වාර්තා විය.

ඔබත් දකුණු කොරියාවේ සේවය කරන ලාංකිකයෙකු නම් මේ දිනවල මාර්ගවල ගමන් කිරීමේදී මෙන්ම, ධීවර ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු ඔබද ප්‍රවේශමෙන් කටයුතු කරන්න.