විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ බදුල්ලේ හොර ඒජන්සිය වටලයි

විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ බදුල්ලේ හොර ඒජන්සිය වටලයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධි අයුරින් විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ආයතනයක් වැටලීම් කිරීමට කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේ නිළධාරීන් සමත්වී තිබේ.

පොන්නසාමි බාලක්‍රිෂ්ණන් නැමැත්තෙකු විසින් බදුල්ල, ධර්මදුත පාරේ Global Educare Center නමින් මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ජපානය, කටාර්, ඉතාලිය වැනි රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දු වී තැනැත්තන් රවටා මුදල් ලබාගෙන ඇත.

කාර්යාංශයට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම මෙහෙය වූ අතර, එම ස්ථානයේ තිබි මුදල් ලබාගත් බවට සඳහන් ලේඛන 02 ක් හා රැකියා අයදුම්පත් ඇතුළත් ලිපිගොනු 53ක් නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගරු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු එස්.ගාල්ලගේ මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.