විදේශ රැකියා ජාවාරමේ යෙදුණු තිදෙනෙකු අත්අඩංගුවට ගනී

විදේශ රැකියා ජාවාරමේ යෙදුණු තිදෙනෙකු අත්අඩංගුවට ගනී

නිතිවිරෝධි අයුරින් විදේශ රැකියා ජාවාරම්වල නිරතවූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව වංචනික අයුරින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් ව්‍යාජ ලේඛන සකස් කර තැනැත්තන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීම හේතුවෙන් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා තිබූ හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රසන්ඩීන් නැමැති පුද්ගලයෙකු 2023.07.14 දින දිවයිනට පැමිණීමට උත්සාහ කිරිමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් රඳවා තබාගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වෙත භාරදී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු එදිනම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලද අතර, ඉදිරි නඩු විභාගය අගෝස්තු මස 28 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර, ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී තැනැත්තන් රවටා මුදල් වංචා කළ පොලිස් නිළධාරියෙකු, කාර්යාංශය වෙත ලද පැමිණිල්ලකට අනුව,  2023 ජූලි මස 15 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉමදූව, බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි පියසේන අධිකාරි නම් සැකකරු රාජකාරි අතරතුරදීම අත්අඩංගුවට ගෙන ජූලි මස 15 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 7 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටත්, වංචනිකව ලබාගත් මුදල් ජූලි මස 30 දිනට පෙර යළි අදාළ පුද්ගලයින් වෙත ලබාදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. අගෝස්තු මස 7 වන දින නඩුව යළි කැඳවීමට නියමිතයි.

සංචාරක වීසා උපයෝගි කරගනිමින් මැලේසියාවේ රැකියාවට යොමුකිරීම සඳහා රු.510,000.00 ක් මුදලක් ලබාගෙන, එරටදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව, ගාල්ල ප්‍රදේශයේ පදිංචි නවෝද්‍යා ප්‍රසාදිනි නම් කාන්තාවක් ජූලි මස 16 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය ජූලි මස 17 වන දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටත් ඔක්තෝම්බර් මස 12 දින නඩුව යළි කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වන එම්.කේ.සුමනවීර, රවින්ද්‍ර අබේපාල, මධුශාන් විජේවර්ධන, කේ.එල්.එස්.දමයන්ති, ශ්‍රිනිකා කරුණාරත්න යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.