පෝලන්තයේ රැකියා පෙන්නූ ඒජන්සියකරු ඇතුළට

පෝලන්තයේ රැකියා පෙන්නූ ඒජන්සියකරු ඇතුළට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පෝලන්තයේ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් (08) දින වැටලීම් කරන ලදී.

රාජගිරිය ප්‍රදේශයේ Prime Visa Center නමින් වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ. එම ආයතනයට පෝලන්තයේ රැකියාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කර ඇත. ඒ අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදි අදාල ස්ථානයේ හිමිකරු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එසේම අදාල ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 2ක් හා විදේශ රැකියා අයදුම්පත්‍ර රැසක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අද දින (5/9) කොළඹ අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වන රවීන්ද්‍ර අබේපාල, ඉදුනිල් පුෂ්පකුමාර, බුද්ධික විදානපතිරණ, මදුශාන් විජේවර්ධන හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්විය.

එසේම, ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 8ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් අනුව, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද ඊයේ දින (5/8) අත්අඩංගුවට ගන්නා ලදී.

ඩුබායි රාජ්‍යයේ මත්ස්‍ය නිශ්පාදන ආයතනයක රැකියාවක් ලබාදීම සඳහා සැකකරු මෙසේ මුදල් අයකර ඇති අතර, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද දින (5/9) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.