ජපන් රැකියාවට මුදල් අයකල හොර ඒජන්සිය කොටුවෙයි

ජපන් රැකියාවට මුදල් අයකල හොර ඒජන්සිය කොටුවෙයි

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව මාතර නගරයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් (12)  දින වැටලීම් කරන ලදී

මාතර නගරයේ Yumi International (Pvt) Ltd නමින් ආයතනයක් පවත්වාගෙන යමින්, ජපානයේ රැකියා ලබාදෙන බවට මුදල් අයකරන බවට පෞද්ගලික ඔත්තුකරුවෙකු මගින් කාර්යාංශයේ විමර්ශන අංශයේ කළමනාකරුට ලද තොරතුරක් අනුව විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අදාල ස්ථානය වැටලීම් කරන ලදී.

ජපානයේ ශිෂ්‍ය වීසා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන ආයතනයක් මුවාවෙන් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව අදාළ ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර, ඒ අනුව එහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මාතර ප්‍රදේශයේ පදිංචි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම අදාල ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර, රැකියා අයදුම්පත්‍ර විශාල ප්‍රමාණයක් හා තවත් ලිපිගොනු රැසක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ‍

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වන එම්.කේ.සුමනවීර, ඉදුනිල් පුෂ්පකුමාර, මහීෂ කොඩිප්පිලිආරච්චි, මදුශාන් විජේවර්ධන, නිදර්ශිකා දමයන්ති හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.