කැන්ගරු දේශයේ රැකියා මවා මුදල් ගැරූ සැකකරු දැලේ

කැන්ගරු දේශයේ රැකියා මවා මුදල් ගැරූ සැකකරු දැලේ

ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් (13) දින අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රි ලංකාවේ අඩු ආදායම් ලාභීන් සඳහා ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා අවස්ථාවක් ලබාදිය හැකි බවත් පවසා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරේ සිට ලක්ෂ 9 දක්වා මුදල් ලබාගෙන තිබේ. මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව හිමි නොවු බවට මුදල් ලබාදුන් පුද්ගලයින් විසින් කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව අදාළ සැකකරු ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.  

අත්අඩංගුවට ගත් සැකකරු පොල්ගහවෙල පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු තවත් අයෙකුගේ සහයෙන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය විය. ඒ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහාද විමර්ශන නිළධාරීන් විසින් විමර්ශන මෙහෙයවනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරු (5/14) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් පැමිණිල්ලකට ලක්ෂ 5 ක ශරීර ඇප 2 බැගින් පැමිණිලි 3 සඳහාම දඩුවම් නියම කර නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.