මැලේසියාවේ රැකියා පෙන්වා මුදල් වංචාකළ ඒජන්සි හිමිකරු දැලේ

මැලේසියාවේ රැකියා පෙන්වා මුදල් වංචාකළ ඒජන්සි හිමිකරු දැලේ

මැලේසියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් (5/27) දින අත්අඩංගුවට ගන්නා ලදී.

මරදාන, රෝයල් සන් විදේශ රැකියා හිමිකරු විසින් මැලේසියාවේ ආපන ශාලාවක රැකියාවක් ලබාදෙන බව පවසා ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් රු.575,000.00 ක මුදලක් ලබාගෙන ඇති අතර, අදාළ තරුණයා මැලේසියාව වෙත ගිය පසු පොරොන්දු වූ පරිදි රැකියාව හිමි නොවීම හේතුවෙන් මාස 3ට පසු යළි මෙරටට පැමිණ තිබේ.

විදේශ රැකියාව හිමිනොවීම හේතුවෙන් තමන් ලබාදුන් මුදල නැවත ඉල්ලා එම තරුණයා අදාල රැකියා නියෝජිතායතනය වෙත ගියද, එම ආයතනයේ හිමිකරු මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණ පැමිණිලි කරන ලදී.

ඒ අනුව අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකරු, කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම හා කාර්යාංශ පනත උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු (5/28) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

අදාල රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති අතර, මේ වංචනික ක්‍රියාවට ඔහුට සහය වු තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීමේ සිදුවීමකට අදාළව එහි දෙවන සැකකරු  (5/28) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ මන්දාකිණි විදේශ රැකියා නියෝජිතායතනයේ හිමිකාරිය වන අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය පැමිණිලි 3ට අදාලව අද දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

එම සැකකාරිය නඩු 2ට අදාලව රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප 2ක් හා අනෙක් නඩුවට අදාළව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහරින ලදී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.