මෝල්ටා රැකියා පෙන්වූ කත කොටුවෙයි

මෝල්ටා රැකියා පෙන්වූ කත කොටුවෙයි

මෝල්ටාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් (5/29) දින අත්අඩංගුවට ගන්නා ලදී.

මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන මෙම කාන්තාවගේ සැමියා මෝල්ටා රාජ්‍යයේ සේවය කරන බැවින් තමන්ට එරට රැකියා අවස්ථාවන් සොයා දිය හැකි බව පවසා පුද්ගලයෙකුගෙන් රු.884,000.00 ක මුදලක් ලබාගෙන තිබේ. මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව හිමි නොවීම හේතුවෙන් එම පුද්ගලයා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීමට අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී. 

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීමට මුදල් අයකිරීම හා කාර්යාංශ පනත උල්ලංඝණය කිරිම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකාරිය (5/30) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප 2ක් මත මුදාහැරීමටත්, විදෙස් ගමන් තහනමක් පැනවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. නඩුව ජූලි 11 දින යළි කැඳවීමට නියමිතයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.