සංක්‍රමණික කම්කරුවන්ට ආරක්ෂාව දෙනවා - එන්. බිරෙන් සිං

සංක්‍රමණික කම්කරුවන්ට ආරක්ෂාව දෙනවා - එන්. බිරෙන් සිං
  • ශ්‍රීරාම් ඝාතනයෙන් පසු අලුත් අවධානයක්

තම රජය ප්‍රාන්තයේ විවිධ ඉදිකිරීම් ස්ථානවල සේවය කරන සංක්‍රමණික කම්කරුවන් 4,000 කට පමණ ආරක්ෂාව සපයන බව මනිපූර්හි ප්‍රධාන අමාත්‍ය  එන්. බිරෙන් සිං පවසයි.

ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිං පවසා සිටින්නේ  බිහාර් සහ ජාර්කන්ඩ් හි කම්කරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවයක් බවයි.

ඉකුත් මැයි 18 වන දින ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ගොඩා දිස්ත්‍රික්කයේ ආදිවාසි ශ්‍රීරාම් හන්ස්ඩා (42) ඝාතනය කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති අතර ගෝත්‍රික කුකි ෂූ සහ මයිටේ ජාතීන් අතර පවතින වාර්ගික ප්‍රචණ්ඩත්වය අතරතුර ප්‍රදේශවාසීන් නොවන අයට එරෙහිව වාර්තා කරන ලද පළමු ඉලක්කගත ප්‍රහාරයෙන් සන්නද්ධ අපරාධකරුවන් විසින් ඔහුට වෙඩි තබා තිබිණි.

හන්ස්ඩා  සමඟ ජල සම්පාදන ආයතනයක සේවය කරන තවත් කම්කරුවන් දෙදෙනෙක් සිද්ධියෙන් තුවාල ලැබූ බවද, වාර්තා විය.

මනිපූර් පොලිසිය පැවසුවේ, රජය විසින් පුරුද්දක් ලෙස තහනම් කර ඇති මිටියාවත පදනම් කරගත් මයිටේ අන්තවාදී කණ්ඩායම් හතෙන් එකක් වන කන්ග්ලෙයිපාක් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වන 27 හැවිරිදි සයිරොම් බිර්ජිත් සිං මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බව ය.

“කම්කරුවා  මරා දැමූ ස්ථානයේ ආරක්ෂාවක් තිබුණේ නැහැ. මීළඟ වතාවේ එවැනි සිදුවීමක් සිදුවුවහොත් නීත්‍යානුකූලව කටයුතු කරන බවට අපි ජනතාවට අනතුරු අඟවා තිබෙනවා. අධිවේගී මාර්ග ඉදිකිරීම්, දුම්රිය ව්‍යාපෘති ඇතුළු අනෙකුත් කාර්යයන් සඳහා 4,000ක් පමණ සංක්‍රමණික සේවකයින් සිටිනවා. අපි මේ ස්ථානවල ආරක්ෂාව සපයනවා. පුද්ගලික සමාගම් ආරක්ෂාව ඉල්ලුවොත් ඒකත් දෙන්න අපි ලෑස්තියි.” ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

පසුගිය වසරක කාලය තුළ කප්පම් ගැනීම් ඉහළ ගොස් ඇති බව සත්‍යයක් බවත්, නමුත් “නීතියේ ආධිපත්‍යය” ක්‍රියාත්මක විය යුතු බවට පණිවිඩය පැහැදිලි බවත් සිං මහතා පෙන්වාදෙයි.

“කප්පම් නඩු වැඩිවෙලා නමුත් පොලිසිය සෝදිසි මෙහෙයුම් කරනවා. අපි සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිරගත කරනවා. ජාතික ආරක්ෂක පනත යටතේ බොහෝ දෙනෙකුට නඩු පවරනවා. කිසිවෙකුට බේරීමක් වෙන්නේ නෑ“ ඔහු කියා සිටියි.

නව රජය ප්‍රාන්ත ජාතික පුරවැසි ලේඛනය (NRC) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්,  NRC සඳහා මූලික පදනම් වර්ෂනය 1961 විය යුතු බවත්,  නීති විරෝධී සංක්‍රමණිකයන් හඳුනාගෙන පිටුවහල් කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මනිපූර් රජය මීට පෙර NRC ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යස්ථානයට නිර්දේශයක් යවා තිබුණි.

“ප්‍රධාන සාම ක්‍රියාමාර්ග” සමඟින් පසුගිය වසරක කාලය තුළ දුක් විඳිමින් සිටි ජනතාව වෙත නව රජය ළඟා වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, ප්‍රජාවන් දෙකෙහිම සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළ යුතු අතර වහාම සාමය යථා තත්ත්වයට පත් කළ යුතු බවත්, හෙතෙම පෙන්වා දෙයි.

2023 මැයි 3 වන දින ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය පුපුරා යාමෙන් පසුව, පොලිස් අවි ගබඩාවලින් ආයුධ 4,500 කට වැඩි ප්‍රමාණයක් කොල්ලකන ලදී.

මියන්මාර දේශසීමාවට වැට බැඳීමේ කටයුතු ආරම්භ කර ඇති බවද, ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

"කිලෝමීටර් 21 ක දුරක් වැටවල් දැමීමේ කටයුතු ආරම්භ කර ඇති අතර තවත් කිලෝමීටර 60 ක් ඇතුළත් කිරීමට සමීක්ෂණයක් සිදුකරමින් පවතී“ " ඔහු කියා සිටියි.

ජනවාරි මස මුලදී, මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මියන්මාර දේශසීමාවේ නිදහස් සංචලන පාලන තන්ත්‍රය (FMR) ඉවත් කරන බවත් දේශ සීමාවට වැටක් පනවන බවත් ප්‍රකාශ කර තිබුණි.

ඉන්දියාව අරුණාචල් ප්‍රදේශ් (කිලෝමීටර් 520), නාගලන්ඩ් (කිලෝමීටර් 215), මනිපූර් (කිලෝමීටර් 398) සහ මිසෝරාම් (කිලෝමීටර් 510) හරහා මියන්මාරය සමඟ කිලෝමීටර 1,643 ක දේශ සීමාවක් බෙදාහදා ගැනීමක් සිදුවේ.

(හින්දු පුවත්පත වෙනුවෙන් විජිතා සිං සමඟ කළ කතා බහක් ඇසුරිණි.)

#migrantworkers #VOM #voiceofmigrant #forignbureau # foreignemploymentbureau #Srilanka # Manipur #India # BirenSingh # armedmilitants