සංක්‍රමණික ශ්‍රමිකයාගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබාදෙනු - පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

සංක්‍රමණික ශ්‍රමිකයාගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබාදෙනු - පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය සෑම වසරකම ජුනි 16 වන දින සමරනු ලැබේ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද දිනයකි. විදේශයන්හි සේවය කරන සංක්‍රමණිකයින් විසින් සිය මව්බිමට, ඔවුන්ගේ පවුල්වලට සැලකිය යුතු මූල්‍ය දායකත්වයක් ලබා දීම සිදුවේ. සංක්‍රමණිකයන් විසින් ඔවුන්ගේ පවුල් වෙත එවන මුදල් හුවමාරු වන ප්‍රේෂණ, බොහෝ විට ඒවා ලබන අයගේ ජීවිත වැඩිදියුණු කිරීමට, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි මූලික අවශ්‍යතා සඳහා මෙන්ම  සමහර විට ඔවුන්ගේ මව් රටවල ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙම ප්‍රේෂණවල වැදගත්කම සහ සංක්‍රමණික සේවකයන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ දෙන අභියෝග පිළිබඳව දැනුවත් කිරීම මෙම දිනයේ අරමුණයි.

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ප්‍රේෂණ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන්ම ගෑස් පෝලම්, තෙල් පෝලිම්වල කනගාටුදායක අත්දැකීම් ලබන්නට සිදුවූ වකවානුව කෙරෙහි සිහිපත් කර බලන්නේ නම් සංක්‍රමණික ලාංකික ප්‍රජාව විසින් ප්‍රේෂණ එවීම අවම වීමද, එහි ප්‍රමුඛතම හේතු සාධකයක් විය. මේ අයුරින් ශ්‍රී ලාංකේය ආර්ථිකය හා පවුල් ප්‍රේෂණ අතර පවත්නා අනුපමේය සහසම්බන්ධය කරුණු කිහිපයක් ලෙස සාරාංශගත කරනු වටියි.

1. ආර්ථික දායකත්වය: ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන විශාලතම මූලාශ්‍රවලින් එකක් වන්නේ ප්‍රේෂණයි. ලෝක බැංකුවට අනුව, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ගලා ඒම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, රටේ ගෙවුම් ශේෂයට සහය වන සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට උපකාරී වන ස්ථාවර ආදායම් මාර්ගයක් සපයයි.

2. දරිද්‍රතාවය පිටුදැකීම: ගෘහ ආදායමට අතිරේකව සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමෙන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අඩු කිරීමට ප්‍රේෂණ සෘජු බලපෑමක් ඇති කරයි. බොහෝ පවුල් ආහාර, නවාතැන්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ඇතුළුව ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා විදේශයන්හි සේවය කරන ඥාතීන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මාරු කිරීම් මත රඳා පවතී.

3. ගෘහ පරිභෝජනය: ප්‍රේෂණ ගෘහ පරිභෝජනයට සහ ගෘහස්ථ ඉල්ලුමට දායක වන අතර, සිල්ලර, නිවාස සහ සේවා වැනි අංශවල ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවයි. ප්‍රේෂණ ගලා ඒමේ ප්‍රතිඵලයක් ලෙස ගෘහාශ්‍රිත මිලදී ගැනීමේ ශක්තිය වැඩි වීම දේශීය ව්‍යාපාර උත්තේජනය කරන අතර රැකියා උත්පාදනයට සහාය වේ, විශේෂයෙන් සංක්‍රමණිකයන් පිටතට ගලායාම බහුලව පවතින ග්‍රාමීය ප්‍රදේශවල මෙම තත්ත්වය තීරණාත්මකය.

4. ආයෝජන සහ ඉතුරුම්: වත්මන් පරිභෝජනයට සහාය වීමට අමතරව, ප්‍රේෂණ ආයෝජන අරමුණු සහ ඉතුරුම් සඳහා ද භාවිතා කළ හැක. ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ප්‍රාග්ධනය ගොඩනැගීමට සහ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට දායක වෙමින් දේපළ වෙළඳාම්, ව්‍යවසායකත්වය හෝ අධ්‍යාපනය සඳහා ආයෝජනය කළ හැකිය.

5. සමාජ බලපෑම: ඔවුන්ගේ ආර්ථික වැදගත්කමෙන් ඔබ්බට, ප්‍රේෂණ ශ්‍රී ලාංකික පවුල් සහ ප්‍රජාවන් සඳහා සමාජීය බලපෑම් තීව්‍ර කර තිබේ.  ඔවුන් දේශසීමා හරහා සමාජ සබඳතා සහ පවුල් සබඳතා පවත්වා ගැනීමට, පවුල් මත සංක්‍රමණයේ බලපෑම් අවම කිරීමට මෙන්ම  සමාජ ඒකාබද්ධතාවයට සහ ප්‍රජා සංවර්ධනයට සිදුවන මෙහෙයද, අමතක නොකළ යුතුය.

6. යැපීම් සැලකිලි: බොහෝ ශ්‍රී ලාංකික කුටුම්භ සඳහා ප්‍රේෂණ අත්‍යවශ්‍ය සහායක් සපයන අතර, යැපීම සහ ප්‍රේෂණ ගලා ඒමේ දිගු කාලීන තිරසාරභාවය පිළිබඳ සැලකිලිමත් වේ. ආදායම් මාර්ගයක් ලෙස ප්‍රේෂණ මත අධික ලෙස රඳා පැවතීම දේශීය ශ්‍රම බලකායේ සහභාගීත්වය අධෛර්යමත් කිරීමටත්, නිෂ්පාදන අංශවල ආයෝජනයට බාධා කිරීමටත්, ආර්ථිකයේ ව්‍යුහාත්මක අසමතුලිතතා පවත්වා ගැනීමටත් හේතු විය හැක.

7. ප්‍රතිපත්තිමය ඇඟවුම්: ශ්‍රී ලංකා රජය ප්‍රේෂණවල වැදගත්කම හඳුනාගෙන ඇති අතර ඒවායේ ගලා ඒම පහසු කිරීමට සහ ඒවායේ සංවර්ධන බලපෑම උපරිම කිරීමට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. මෙම ප්‍රතිපත්තිවලට ප්‍රේෂණ මාරු කිරීමේ පිරිවැය අඩු කිරීම, මූල්‍ය ප්‍රවේශය සහ ඇතුළත් කිරීම් වැඩිදියුණු කිරීම සහ ප්‍රේෂණ අරමුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය දැක්වීම් ඇතුළත් වේ.

 ලාංකේය සංදර්භය තුළ සංක්‍රමණික ශ්‍රමිකයින් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අදාළ කරගනිමින් විටෙන් විට ඔසවා තබනු දකින්නට ලැබුණද, ඔවුන්ගෙ අයිතිවාසිකම් නිසි ලෙස තහවුරු කිරීමට පියවර ගැනීමක් දකින්නට ලැබෙන්නේ නැත. නිදසුනක් ලෙස යම් යම් අවස්ථාවන්වල මව් රටට එවනු ලබන ප්‍රේෂණවල වටිනාකම් වලට සමපාතව යම් යම් වරප්‍රසාද ලබාදීමට පාලකයින් විසින් විවධ උත්සාහ ගනු ලැබුවත්, ඒවා හුදෙක් සංක්‍රමණිකයින්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල ඉල්ලීම් හෝ සැබෑ අවශ්‍යතාවන් මත පදනම් වූ ක්‍රියාමාර්ග නොවේ. ඒ වෙනුවට හුදෙක් දේශපාලන ප්‍රචාරණ උපාය උපක්‍රම ලෙස මවාපෑම් පමණකි. මේ අයුරින් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන්, ඔවුන්ගේ පවුල් ප්‍රේෂණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනමේ ක්‍රියාවලියට පවා ඔවුන්ගේ දායකත්වයක් ලබා ගැනීමට, අදාළ තීන්දු තීරණ ගැනීමේ බල අධිකාරිත්වය තුළ ඔවුන්ට නියෝජනයක් ලබාදීමට පවා මෙරට බලධාරීන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ඇතැම් ශිෂ්ට රටවල සංක්‍රමණික ශ්‍රමිකයින්ට තම මව්රටේ ජාතික මට්ටමේ මැතිවරණ වලදී ස්වකීය ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙනු ඇතත්, එකී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා ලාංකේය සංක්‍රමණිකයින්ට අහිමිය. එච්.අයි.වී ආසාදිතයින්ට රැකියා සඳහා සංක්‍රමණය වීමට අයිතියක් නැත. එහෙත් වෙනත් ශිෂ්ට රටවල එච්.අයි.වී ආසාදිතයින් බලාගැනීම, ඔවුන්ට සාත්තු සප්පායම් කිරීම ආදිය වෙනුවෙන් ගෘහාශ්‍රිත රැකියා බිහි කිරීමටත්, ඒ සඳහා එච්.අයි.වී ආසාදිත සංක්‍රමණිකයින්ට ඉඩ ප්‍රස්ථාව ලබාදීමටත් ක්‍රියා මාර්ග ගෙන තිබේ. ලාංකේය සංදර්භය තුළ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ වැඩපිළිවෙළක් තබා රට තුළ ඒ සඳහා වන කතිකාවක් වත් දකින්නට ලැබෙන්නේ නැත. පුහුණු හෝ අර්ධ පුහුණු රැකියා සඳහා මෙරටින් විදෙස්ගත වුවද, එකී පිරිස් පෙරළා යටි මෙරටට පැමිණි පසු ඔවුන් එකී රටවල සේවයට එක්වීම තුළින් ලැබූ අත්දැකීම්, ඇතැම්විට විශේෂඥ පුහුණුව, දැනුම හා අවබෝධය මෙරට සංවර්ධනය සඳහා දායක කර ගැනීමට පවා වැඩපිළිවෙළක් නැත. එහෙව් පසුබිමක පවුල් ප්‍රේෂණ පිළිබඳ අගය කිරීමෙන් ඔබ්බට ඒවා විනිවිදභාවයෙන් යුතුව රටේ දියුණුවට වඩා ඵලදායි ලෙස යොදා ගැනීමට වැඩපිළිවෙළක් වහාම සකස් විය යුතුය. ඒ සඳහා පාලකයින්ට අවශ්‍යතාවක් නොමැත්තේනම් සංක්‍රමණික ප්‍රජාව, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ආදිය එක්ව සංවිධානාත්මකව ඒ වෙනුවෙන් පුළුල් බලවේගයක් නිර්මාණය කරගත යුතුය. එවැනි බලවේගයකින්, එකාවන්ව සංවිධානය වීමෙන් තොරව සංක්‍රමණික අයිතිවාසිකම් දිනා ගැනීමටත්, එමගින් රටට ඵලදායි මෙහෙවරක් ඉටු කිරීමටත් හැකියාවක් නොලැබෙනු ඇත. මෙවර ජාත්‍යන්තර පවුල් ප්‍රේෂණ දිනයේදී අප අදිටන් කරගත යුත්තේ ඒ වෙනුවෙන් කැපවෙන වැඩපිළිවෙළකටය.

මේ අනුව සමස්තයක් වශයෙන්, පවුල් ප්‍රේෂණ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය  ස්ථාවර ආදායම් මාර්ගයක් සපයයි. ගෘහ සුභසාධනයට සහාය වේ. එමෙන්ම ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයේ ප්‍රමුඛතම දායකත්වයක් සපයයි.  කෙසේ වෙතත්, යැපීම, ප්‍රේෂණ අරමුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම සහතික කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා නිසි ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීම වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට බලපෑම් කිරීමට සිදුවනු ඇත.

-එම්.ඒ.පී.ආර් විජේබණ්ඩාර