රුමේනියා සිහිනය බොඳවෙයි -පනින්න පෙර සිතා බලනු වටියි

රුමේනියා සිහිනය බොඳවෙයි -පනින්න පෙර සිතා බලනු වටියි

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර, ගොඩගම පිහිටි අදාළ ආයතනයේ හිමිකරු විසින් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී ඇති බව සඳහන්ය.

පසුව එම පැමිණිලි අනුව අදාළ සැකකරු වංචාකර ඇති මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 130ට අධික බැව් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අදාළ රැකියා නියෝජිතායතනය මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අතර, එම ආයතනයේ රැකියා බලපත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 දිනෙන් අවසන් වී ඇති අතර,  යළි එම ආයතනයේ රැකියා බලපත්‍රය අලුත් කර ගැනීමකින් තොරව නීතිවිරෝධි අයුරින් පවත්වාගෙන ගොස් තිබේ. 

මෙම ආයතනයට රුමේනියා රැකියා ලබාදීම සඳහා වලංගු රැකියා ඇණවුමක් තිබුණද, පැමිණිලිකරුවන් රැකියා සඳහා යොමුකිරීමට ඔවුන් විසින් කටයුතු කර නොමැති බව වාර්තා වේ.

පැමිණිලි විභාග කිරිම සඳහා අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඊයේ (13) දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනතේ අඩංගු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.