ජාත්‍යන්තර ප්‍රේෂණ දිනය: දරුවන් වෙනුවෙන් දරුවන් අතහැර යන විදෙස් ශ්‍රමිකයින්ගේ මහන්සිය වතුරේ යයි ද?

ජාත්‍යන්තර ප්‍රේෂණ දිනය: දරුවන් වෙනුවෙන් දරුවන් අතහැර යන විදෙස් ශ්‍රමිකයින්ගේ මහන්සිය වතුරේ යයි ද?

බාහිර උපාධියක් ලබාගෙන කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි නීලා, මේ වන විට ඊශ්‍රායලයේ වැඩිහිටියන් රැක බලා ගන්නා තැනැත්තියක ලෙස සේවය කරයි.

ඇයට එම අවස්ථාව උදා වූයේ, රාජ්‍ය සේවකයින්ට වසර කිහිපයක් විදේශගත රැකියාවල නිරත වීම සඳහා රැකියාවෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය හේතුවෙනි.

නීලා යනු ඇයගේ සැබෑ නම නොව, ඇය හැඳින්වීම සඳහා භාවිත කෙරෙන ආරෝපිත නාමයක් බව සලකන්න.

නීලා දරුවන් දෙදෙනෙකුගේ මවක වන අතර, ඇයගේ සැමියා සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.

"මට සංවර්ධන නිලධාරිනියක් විදිහට හම්බ වුණේ පොඩි වැටුපක්. ගෙයක් හදා ගන්න, දරුවන්ට උගන්වන්න, වාහනයක් ගන්න මට ලොකු හීන තිබුණා. ඒත් රජයේ රැකියාවෙන් මට ඒවා ඉෂ්ට කර ගන්න අමාරු යි. ඒ නිසා මම තීරණය කළා අවුරුදු දෙකකට ඊශ්‍රායලයට එන්න," නීලා පැවසුවා ය.

නීලා පවසන පරිදි ඇයගේ සිහින මේ වන විට ටිකෙන් ටික ඉටු‌ වෙමින් පවතී.

"ගෙදර උඩ තට්ටුව දැන් හැදීගෙන යනවා. මම කවදාවත් බලාපොරොත්තු නොවුණ මුදලක් ගෙදරට යවන්න ලැබෙනවා. මෙහේ වැඩත් කිසි අමාරුවක් නෑ. මම බලාගන්න කෙනා හරි ම හොඳ යි. ඒ නෝනාගේ දරුවනුත් ගොඩක් හොඳ යි," ඇය ඊශ්‍රායලයේ රැකියාවට පැමිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් නීලා සතුට පළ කළේ එලෙසිනි.

එහෙත්, පාසල් යන වයසේ සහ මවකගේ උණුසුම අවශ්‍ය වයසේ පසු වන දැරියකගේ සහ දරුවෙකුගේ මවක වන ඇයට, සිය පවුල අතහැර නොදන්නා විදේශයක කාලය ගත කිරීම අතිශය කටුක අත්දැකීමකි.

"වෙලාවකට මට හිතෙනවා, ඔක්කොම දමල ගහල ආපහු ගෙදර යන්න. වැඩක් නැති වෙලාවට මට දරුවො දෙන්න යි, හස්බන්ඩ්වයි මතක් වෙනකොට ඉවසන්න බැරි දුකක්, පාළුවක් දැනෙනවා. සල්ලි විතරක් නෙවෙයි නේ ජීවිතය කියන්නේ. ඒත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ම තමයි මේ තීරණය ගත්තේ," නීලා පවසයි.

වඩා යහපත් ජීවන මට්ටමක් උදෙසා විදෙස්ගත රැකියාවල නිරත වන බොහෝ දෙනෙකුගේ අත්දැකීම ඉහත පරිදි ය.

කෙසේ වෙතත්, විදෙස් ප්‍රේෂණ යනු සංවර්ධනය වෙමින් පවතින රටවල සාර්ව ආර්ථිකයට බලපාන වැදගත් සාධකයක් බව ආර්ථික විශේෂඥයෝ පවසති.

පවුල් ප්‍රේෂණ සඳහා වන ජාත්‍යන්තර දිනය

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවුල් ප්‍රේෂණ සඳහා ජාත්‍යන්තර දිනයක් (The International Day of Family Remittances) ප්‍රකාශයට පත් කර ඇත්තේ, ආර්ථිකයට ඔවුන්ගෙන් වන දායකත්වය අගැයීම සඳහා ය.

මෙම දිනය 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසියේදී නම් කෙරුණු අතර, සෑම වසරක ම ජූනි 16 වන දාට සැමරේ.

2024 වසරේ පවුල් ප්‍රේෂණ සඳහා වන ජාත්‍යන්තර දිනයේ තේමාව වී ඇත්තේ, 'මූල්‍ය සේවා සැමට සමීප කිරීම සහ පිරිවැය අඩු කිරීම සඳහා ඩිජිටල් ප්‍රේෂණ භාවිත කිරීම' යන්න ය.

ලෝකයේ තත්ත්වය

ලෝකය පුරා විගමනික සේවකයින් මිලියන 200ක් පමණ ප්‍රේෂණ හරහා අවම වශයෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මිලියන 800ක් ජීවත් කරවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ලෝකයේ වැඩි ම ප්‍රේෂණ සංඛ්‍යාවක් විදෙස් රටවල් වෙත යැවෙන්නේ, අමෙරිකාවෙනි.

වැඩි ම ප්‍රේෂණ මුදලක් ලබන රටවල් 5 වන්නේ, ඉන්දියාව, මෙක්සිකෝව, චීනය, පිලිපීනය සහ ඊජිප්තුව යි.

පසුගිය වසරේ දත්ත අනුව එම රටවල් වෙත ලැබුණු ප්‍රේෂණ අගයයන් මෙසේ ය.

  • ඉන්දියාව - ඇමෙරිකානු ඩොලර් බිලියන 125
  • මෙක්සිකෝව - ඇමෙරිකානු ඩොලර් බිලියන 6
  • චීනය - ඇමෙරිකානු ඩොලර් බිලියන 50
  • පිලිපීනය - ඇමෙරිකානු ඩොලර් බිලියන 40
  • ඊජිප්තුව - ඇමෙරිකානු ඩොලර් බිලියන 24

දකුණු ආසියාවේ තත්ත්වය

දකුණු ආසියානු කලාපය රටවල් 8කින් සමන්විත වේ. ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින්, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව එම රටවල් වේ.

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉහත කී රටවල් සහ ඉරානය ඇතුළු දකුණු ආසියානු උපකලාපය තුළ බිලියන 1.94ක ජනගහනයක් වෙසෙන බව ය.

මෙම රටවල ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් උපන් රටින් බැහැරව සේවයේ නිරත වෙති.

ලෝක බැංකු වර්ග කිරීම් අනුව දකුණු ආසියානු කලාපය අයත් වන්නේ, පහළ සහ මධ්‍යම පරිමාණයේ ආදායම් ලබන කලාප අතරට ය.

එම කලාප අතරින් විගමනික සේවකයින්ගෙන් වැඩි ම ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන කලාපය දකුණු ආසියානු කලාපය යි.

2016 වසරේ සිට දකුණු ආසියානු කලාපය සඳහා වාර්ෂිකව ප්‍රේෂණය වී ඇති විදේශ විනිමය ප්‍රමාණයන් පහත දැක්වේ.

රටක ආර්ථිකයට විදෙස් ප්‍රේෂණ වැදගත් වන්නේ ඇයි?

අපනයන ආර්ථිකයක් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට විදෙස් ප්‍රේෂණ ඍජුව බලපායි.

විදෙස් මූල්‍ය සංචිත පවත්වාගෙන යාමට එවැනි රටවලට ඇති වැදගත් ම සාධකය වන්නේ, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් ප්‍රේෂණය යි.

"විදෙස් මුදල් සංචිත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න තියෙන ප්‍රධාන ක්‍රමයක් තමයි විදෙස් ප්‍රේෂණ. ඒ නිසා මේ ප්‍රේෂණ වැඩි කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථික යහ පැවැත්ම රඳවා ගන්න ඒක ඉතා වැදගත්," පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

සංඛ්‍යා ලේඛනවල දැක්වෙන පරිදි 2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලාංකිකයින් 608,925 දෙනෙකු රැකියා සඳහා විදෙස්ගත වී තිබේ.

ඒ, 2022 වසරේදී 311,269 දෙනෙකු සහ 2023 වසරේදී 297,656 දෙනෙකු වශයෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාර්තුමය වාර්තා අනුව 2022 සහ 2023 වසරවලදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, 2022 වසරේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,789.4කි.

ඉන් වැඩි ම ප්‍රමාණයක් කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් එවනු ලැබූ අතර, සංඛ්‍යාත්මකව එම මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන 139.7කි.

කටාර් (ඇමෙරිකානු ඩොලර් මිලියන 131.9), සෞදි අරාබිය (ඇමෙරිකානු ඩොලර් මිලියන 106.8), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ඇමෙරිකානු ඩොලර් මිලියන 103.6) සහ දකුණු කොරියාව (ඇමෙරිකානු ඩොලර් මිලියන 89) ශ්‍රී ලංකාවට 2022 වසරේදී වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් එවූ රටවල් වේ.

ඊට අමතරව, 2023 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5,969.6ක් ශ්‍රී ලංකාවට එවා ති‌බේ.

එහිදී ද, වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් එවා ඇත්තේ, කුවේට් රාජ්‍යයේ සිට ය. 2022 වසරට සාපේක්ෂව එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන අතර, සංඛ්‍යාත්මකව එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 170.9කි.

2023 වසරේදී ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් එවූ රටවල් අතර කටාර් (ඇමෙරිකානු ඩොලර් මිලියන 156.9), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ඇමෙරිකානු ඩොලර් මිලියන 155), සෞදි අරාබිය (ඇමෙරිකානු ඩොලර් මිලියන 154.9) ද සිටී.

ඒ අනුව, එම වසර දෙක තුළදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 9,759කි.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග

විදෙස් ප්‍රේෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභියෝග කිහිපයකට මුහුණ දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දුන්නේ, දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක් සිය වාර්ෂික ප්‍රේෂණ ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කර ගැනීමට සමත් වී ඇතත්, ශ්‍රී ලංකාව පහළ මට්ටමක පසු වන බව ය.

"ශ්‍රී ලංකාව ගත්තා ම 2010 විදේශ ප්‍රේෂණ තිබුණේ, ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් විතර. මේක 2015 වෙනකොට බිලියන 6.9 දක්වා වර්ධනය වුණා. ඊට පස්සෙ 2016දී තමයි, මෑත ඉතිහාසයේ වැඩි ම ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබිල තියෙන්නේ. ඒක බිලියන 7.2යි. ඊට පස්සෙ ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. 2021 වෙනකොට ඒක 5.5 දක්වා අඩු වෙනවා. 2022 ඒක බිලියන 3.8 දක්වා අඩු වෙනවා. 2023 දී නැවතත් බිලියන 5.9 දක්වා වැඩි වෙනවා. 2024 මුල් මාස 3 තුළ බිලියන 1.5ක වගේ ප්‍රමාණයක් ලැබිල තියෙනවා. ඒ අනුව, අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කර ගන්න අපට හැකි වෙලා නෑ," මහාචාර්ය වසන්ත අතුකෝරණ පැහැදිලි කළේ ය.

ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණ අඩු වීමට බලපාන අභීයෝග කිහිපයක් පිළිබඳව ද මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දුන්නේ ය.

"අපේ රටට ගලා එන විදේශ ප්‍රේෂණ ගැන විමසා බලද්දී පේන දෙයක් තමයි, වැඩි ම ප්‍රේෂණ සංඛ්‍යාවක් එන්නේ මැද පෙරදිග ගෘහ සේවයේ යෙදන කාන්තාවන්ගෙන්. ඒ කියන්නේ, අඩු කුසලතා සහිත පුද්ගලයින් තමයි වැඩි වශයෙන් විදෙස්ගත රැකියාවල නිරත වෙන්නේ. ඉහළ කුසලතා සහිත පුද්ගලයින් විදෙස් රටවල සේවය කරන්නේ ඉතා අඩුවෙන්. ඒ නිසා අපේ රටවලට ලැබෙන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අවම මට්ටමකයි පවතින්නේ. ඉන්දියාව වගේ රටවල් ගත්තොත්, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු වගේ විෂයයන් යටතේ කුසලතා සහිත අය තමයි විදෙස්ගත රැකියාවලට යන්නේ. ඒ නිසා ඒ රටවලට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ගොඩක් වැඩි යි."

ශ්‍රී ලංකාවේ සිට විදෙස්ගත රැකියාවලට යැවීමේ ක්‍රමවේදය වෙනසකට ලක්විය යුතු බව මහාචාර්යවරයාගේ අදහස යි.

ඔහු පවසන්නේ, නුපුහුණු හෝ අඩු කුසලතා සහිත ශ්‍රමිකයින් වෙනුවට පුහුණු සහ ඉහළ කුසලතා සහිත ශ්‍රමිකයින් විදෙස්ගත රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් සඳහා රජයේ අවධානය යොමු විය යුතු බව ය.

සමාජයීය ගැටලු

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රේෂණ හරහා නිසි ආර්ථික යහ පැවැත්මක් නිර්මාණය වන්නේ ද යන්න සැක සහිත බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

"ගෘහ සේවය වගේ රැකියාවල් කරලා රටට එවන මුදල් පරිහරණය කරන්නේ, මූල්‍ය සාක්ෂරතාවක් තියෙන අය නෙවෙයි බොහෝ විට. බොහෝ වෙලාවට අපට අහන්න ලැබෙනවා, බිරිඳ එවන මුදල් විනාශ කරන සැමියන් ගැන. දරුවන්ගේ අනාගතය බිඳ වැටීම් ගැන අහන්න ලැබෙනවා. ඒ නිසා මේ ලැබෙන මුදල් ග්‍රාමීය ආර්ථිකයේ යහ පැවැත්මට ධනාත්මකව බලපානවා ද කියන එක ගැන සැකයක් තියෙනවා. මේ තත්ත්වය වෙනස් විය යුතු යි."

අඩු කුසලතා පදනම මත විදෙස් රැකියාවල නිරත වන්නන් විදෙස්ගතව කරන රැකියා හරහා ලබන වෘත්තීය අත්දැකීම් ද පසුකාලීනව රටේ දියුණුවට භාවිත කළ නොහැකි බව මහාචාර්ය වසන්ත අතුකෝරළගේ අදහස යි.

"කුසලතා මත රැකියාවන් කරන අය වෘත්තීය අත්දැකීම් ලබලා ශ්‍රී ලංකාවට ආයෙත් ආවා ම, ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම රටේ සංවර්ධනයට යොදා ගන්න පුළුවන්. ඒත් ගෘහ සේවය වගේ රැකියාවලින් ඒ වගේ වාසියක් අත් වෙන්නේ නෑ. මේ ගැනත් අපි සලකා බැලිය යුතු යි."

ඊට අමතරව, ශ්‍රී ලංකාව වැනි රටවල පවතින ආර්ථික අර්බුද හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරම්වලට බිලි වීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"අපි දැක්කා රුසියාවේත්, යුක්‍රේනයේත් යුද්ධය සඳහා ශ්‍රී ලාංකිකයින් රුසියාවට ගෙන්වා ගන්නා මිනිස් ජාවාරමක් ගැන. තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඔවුන් ඒ රටවලට යන්නේ ආර්ථික අර්බුදය නිසයි. මේවා ගැනත් බලධාරීන් හිතා බැලිය යුතු යි."

(bbc/sinhala)