විදේශ රැකියා වංචා අල්ලන්න කාර්යාංශය මෙහෙයුම් පුළුල් කරයි

විදේශ රැකියා වංචා අල්ලන්න කාර්යාංශය මෙහෙයුම් පුළුල් කරයි
  • මුල් මාස 6ට පැමිණිලි 2155 ක්....
  • වින්දිතයින්ට කෝටි 6ක් යළි අයකර දෙයි...

විදේශ රැකියා සදහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ දිනවල පවතින අතර, ඒ සමගම විදේශ රැකියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබෙන පැමිණිලිවලද වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් සිය විමර්ශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

කාර්යාංශයේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව, හාලිඇල, රත්නපුර, තංගල්ල, කුරුණෑගල හා මහනුවර යන පළාත් කාර්යාලවලින්ද විදේශ රැකියා වංචා සම්බන්ධ පැමිණිලි භාරගැනීම සිදුකරයි.

ඒ අනුව, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට 2024 ජනවාරි සිට 2024 ජූනි 18 දක්වා ගතවූ කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 1051 ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ. එසේම නීතිවිරෝධි රැකියා නියෝජිතායතන 11ක් වැටලීම් කිරීමටද විමර්ශන නිළධාරීන් පියවර ගෙන ඇති අතර, වංචාකරුවන් 65 දෙනෙකුද මෙම කාලසීමාව තුළදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එසේ අත්අඩංගුවට ගත් පිරිස අතරට, විදේශ රැකියා වංචාවල නිරත වූ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනවල හිමිකරුවන් 8 දෙනෙකුද අයත් වේ.

2024 වර්ෂයේ මුල් මාස 5 තුළ කාර්යාංශයට ලද පැමිණිලිවලට අදාළව වින්දිතයින්ට රු. 65,103,626.00 ක මුදලක් යළි අයකර දීමටද කාර්යාංශයේ විමර්ශන නිළධාරීන්ට හැකි වී තිබේ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේම විදේශ රැකියා වංචාවල නිරතවන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 2864241 යන දුරකථන අංකයට තොරතුරු දැනුම් දෙන ලෙසද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.