කන්නත් නෑ: බොන්නත් නෑ: කාමරයකට දාලා දස වද දෙනවා

කන්නත් නෑ: බොන්නත් නෑ: කාමරයකට දාලා දස වද දෙනවා

මා දැන් දවස් තුන හතරක් තිස්සේ කාමරයකට දාලා වහලා කන්න බොන්න දෙන්නෙ නැතිව ගහනවා. මේ ගෙදර හය දෙනකුගේ වැඩ මට කරන්න වෙලා. ඒ වැඩ කරන්න අමාරු නිසා තමයි මගේ කම්මුලට ගහලා මා කාමරයක හිර කරලා දාලා තියෙන්නේ. ඒ නිසා මා මරාගන්න කලින් ලංකාවට ඉක්මනට ගෙන්වා ගන්නයැයි පොළොන්නරුව දිඹුලාගල අංක 38 මහඋල්පත කාශ්‍යපපුර ගම්මානයේ සිට මීට වසරකට පෙර සෞදියේ ගෘහ සේවයට ගොස් කාමරයක සිර කරගෙන සිටින දෙදරු මවක වන 33 වියති දිස්නා ශිරෝමි මහත්මිය හැඬූ කඳුළින් සඳහන් කළාය.

මට මේ ගෙදර අය පඩි දුන්නෙත් නෑ. මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. පොලිසියත් කිව්වේ වැඩිය කියවන්න එපා ගහලා හිරේ දානවා කියලා. මේ ගෙදර පිරිමි ළමයෙක් ඉන්නවා. ඒ ළමයා මාත් එක්ක හැමදාම රණ්ඩු වෙනවා. පොලිසියට පැමිණිලි කළත් වැඩක් නෑ. මේ ගෙදර එක් කෙනෙක් තමයි පොලිසියේ වැඩ කරන්නේ. ඒ පොලිසියේ කෙනා තමයි කිව්වේ ආයෙත් ගෙදරට ගිහිල්ලා වැඩ කරන්න කියලා. ලංකාවට පෙට්ටියකින් යන්න ආසද කියලා අහනවා.

ස්ථීර නිවෙසක් සහ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගැනීමට මුදල් උපයා ගැනීමේ අරමුණින් 2022 ඔක්තෝබර් 28 වැනිදා කුරුණෑගල ප්‍රදේශයේ ඒජන්සියක් හරහා දිස්නා සෞදි රටේ ගෘහ සේවයට පිටත්ව ගියාය. තම දරුවන් දෙදෙනා මවුපියන් ළඟ තබා විදේශගත වූ දිස්නා මේ වනවිට අන්ත අසරණතාවට පත්ව සිටින්නීය.

මට මේ ගෙදර අය පඩි දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒජන්සියේ පැමිණිල්ලක් දාලා තමයි මාසිකව පඩියක් ගත්තේ. දැනට මම සෞදි අරාබියේ සකා නගරයේ ගෙදරක කන්න, බොන්න, නැතිව හිර කරගෙන ඉන්නවා. මේ ගැන මට කියන්න කවුරුවත් නෑ. පිරිමි හතරකුයි, ගෑනු දෙන්නකුයි ඉන්වා සේරම වැඩ කරන්න වෙලා තියෙන්නේ මට.

ඒවා කරන්න අමාරු හින්දා තමයි මට මේ ගෙදර අය දස වධ දෙන්නේ. මගේ කම්මුලටයි ජංගම දුරකථනයටයි එක සැරයක් පොල්ලකින් ගැහුවා. දැන් මගේ කම්මුල පැත්තක් ඉදිමිලා. මාව ඒජන්සියටවත් ගිහින් දාන්න කිව්වට පස්සේ කට්ටිය ගෙදර ගේට්ටුවයි සේරම වහගෙන කාමරේට දාලා මට නිතර නිතර ගහනවා හිරිහැර කරනවායැයි දිස්නා ශිරෝමි මහත්මිය හඬා වැළපෙමින් සඳහන් කළාය.

(ලංකාදීප)