
“ඔබට මුදල් හදිස්සියක් ද? එසේ නම් එම ණය මුදල ක්‍ෂණිකව ලබාගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න”, “විදෙස් රැකියා සිහිනයට මෙන්න විසඳුමක්” අවම ලියකියවිලි, ටික ටික ගෙවන්න, පිටත්වීම් ඉක්මනින්ම, ඔබ දැනටමත් විදෙස්ගත අයෙක්ද? මෙන්න ඔබට අනගි අවස්ථාවක්, මෙවැනි ආකාරයේ විවිධ දැන්වීම් ඕනෑතරම් සමාජ මාධ්‍ය තුළ, අන්තර්ජාලයේ ඔබ ඕනෑතරම් දැක ඇති බවට සැකයක් නැත. ඒ අනුව එවැනි පණිවුඩයක් හරහා සයිබර් මූල්‍ය අපරාධයක ගොදුරක් බවට පත්වූ පුද්ගලයන් ගැන අසන්නට ලැබෙන පුවත් දිනෙන් දිනම ඉහළයමින් පවතී. ජනතාව අන්තර්ජාල බැංකු සේවාවන් භාවිත කිරීමට පෙළඹීමත් සමඟම ඒ හරහා සිදුවන වංචාවන්ද දිනෙන් දිනම ඉහළ යන බව දැන් පෙනී යන්නේ ය. මෙම ප්‍රශ්නයේ බැරෑරුම්ම තැන වන්නේ මෙරට තුළ සිට මෙන්ම විදේශ රටවල සිටද ක්‍රියාත්මක මෙම සයිබර් අපරාධ ගැන කොතරම් ජනතාව දැනුවත් කිරීම කළද ඊට හසුවන පිරිස් දිනෙන් දිනම වැඩිවීමය. අප මේ කියන්නට ඒ පිළිබඳව පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයම හෙළිකළ කතාවකි.
ලාංකිකයන් ඉලක්ක කරගත් සයිබර් ජාවාරමක්
ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම්වල නව රැල්ලක් පිළිබඳ ආරක්‍ෂක අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එහි සඳහන් වන්නේ මේ වනවිටද විවිධ රටවලින් පුද්ගලයන් 50,000කට අධික සංඛ්‍යාවක් එම ජාවාරමට ආකර්ෂණය කරගනිමින් ප්‍රවාහනය කිරීමට උත්සාහයක යෙදෙන අතර ශ්‍රී ලාංකිකයන්ද ඔවුන්ගේ ඉලක්ක වී ඇති බවය.
දැනට ලැබී ඇති තොරතුරු අනුව දුරස්ථ ප්‍රදේශවල ඊට අදාළ නව මධ්‍යස්ථාන පහක් පිහිටුවා ඇති බවද එහි සඳහන්ය. ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකායද පසුගිය කාලයේ සිදුවූ මිනිස් ජාවාරම් රටා උපයෝගී කරගනිමින් කළ සොයා බැලීම්වලදී පෙනීගොස් ඇත්තේද අදාළ ජාවාරම්කරුවන් රැකියා සොයන්නන් ආකර්ෂණය කර ගැනීමට නොමඟ යවන මාර්ගගත දැන්වීම් සහ වංචනික රැකියා දීමනා භාවිත කරමින් සිටින බවය. මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් කියා සිටින්නේ
පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු මෙම ස්ථානවලට ජාවාරම් කර ඇති බවද තහවුරු වී ඇති බවය. තවද ඩුබායි රාජ්‍යයේ සේවයේ නියුතු වින්දිතයන් කිහිපදෙනකු මෙවැනි වංචාවලට ආකර්ෂණය වී වංචා මධ්‍යස්ථානවලට බඳවාගෙන ඇති අතර ඉතිරි ශ්‍රී ලාංකිකයන් සමාජ මාධ්‍ය වේදිකාවල පළකළ ව්‍යාජ රැකියා දැන්වීම් හරහා මෙරටින් සෘජුවම බඳවාගෙන ඇති බවද ආරක්‍ෂක අමාත්‍යාංශය කියා තිබුණි.
මොකක්ද මේ සයිබර් අපරාධ
සයිබර් අපරාධ හෙවත් පරිගණක අපරාධ ගැන 2007 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද පරිගණක අපරාධ පනතේ නිර්වචනය මෙසේය. එනම් “පරිගණකය හෝ එයටම අයත් උපාංගයක් යොදා ගැනීම මගින් නීති විරෝධී ආකාරයට යම් ක්‍රියාවලියක යෙදීම පරිගණක අපරාධයකි.” යන්න ය.
පරිගණක අපරාධ යනු දැන් අපේ රටට නුහුරු දෙයක්ද නොවේය. එයට හේතුව පසුගිය අවුරුදු කිහිපයේ සයිබර් අවකාශය ඔස්සේ සිදුකරන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් බොහෝ දෙනකුද ආරක්‍ෂක අත්අඩංගුවට පත්වීමය. එහි ආසන්නතම සිද්ධියක් වන්නේ පසුගිය අවුරුද්දේ එනම් 2024 මෙරටින් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමය. එම වසරේ සිට මේ වනවිට මෙරටින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කරන බවට සැකපිට විදෙස් ජාතිකයන් අත්අඩංගුවට පත්වීමේද සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. පුත්තලම, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක හෝටල් සහ ලැඟුම්හල්වල නවාතැන් ගෙන සිටි විදේශිකයන් කණ්ඩායම් වශයෙන් සංවිධාන වී සයිබර් මූල්‍ය අපරාධ මෙහෙයවමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය. එකල චීන ජාතිකයන් ඇතුළු විවිධ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් 300කට අධික පිරිසක් ආරක්‍ෂක අත්අඩංගුවට පත්වුණේය. ඉකුත් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 232ක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී තිබුණි. එම වසරේ පළමු මාස 9තුළදී පමණක් එවැනි වංචාවන් සම්බන්ධව පැමිණිලි 1,100කට අධික ගණනක්ද ලැබී තිබුණේය. ඒ මෙරට තවමත් අඩු නොවන පරිගණක අපරාධ සිද්ධීන් වලින් කිහිපයකි.
තාරුණ්‍යය හා මිනිස් ජාවාරම
මෙරට තාරුණ්‍යයේ මීට කලකට ඉහත සිට සිහිනයක්ව තිබුණේ බෝට්ටුවකට නැගී හෝ ඔස්ට්‍රේලියාව වැනි රටකට පැන ගැනීමටය. නැත්නම් ඉතාලිය වැනි රටකට ගොස් යහමින් හම්බ කිරීමටය. ඒ අනුව රටේ තැනින් තැන කුඩාවට, රහසිගතව සිදුකළ මේ බෝට්ටුවෙන් රට පැන්නිල්ල මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්වන්නට වැඩිකාලයක් ගතවුණේද නැත. අන්තිමේදී මේ ප්‍රශ්නය දෙරටේම ආණ්ඩුවලට බරපතළ ප්‍රශ්නයක් වන්නට විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස සිදුවූයේ නීති විරෝධීව රටකට ඇතුළුවීමේ බිහිසුණු බව හා ඵලරහිත බව පෙන්වාදීමට ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් දියත්කිරීමය. ඉන් පසුවද මෙරටින් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යවන එකවර නවතින්නේද නැත. ඉඳහිට හෝ ජාවාරම්කරුවන් ඔස්ට්‍රේලියාවට මිනිසුන් යැවූ බව ප්‍රවෘත්තියක් අපට අසන්නට ලැබුණි. බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යවන මිනිස් ජාවාරමට ජාවාරම්කරුවන් අවසානයේ ආයුබෝවන් කියන්නේ එසේය. එහෙත් එතැනින්ද නොනවතින මිනිස් ජාවාරම්කරුවෝ ලෝකයේ තවත් ගමනාන්ත සොයා ගත්තෝ ය. ඉන් එකක් රටක් වන්නේ රුසියාවය. අනෙක මියන්මාරයය. එයින් මිනිස් ජාවාරමට සම්බන්ධව කාලයක් තිස්සේ ප්‍රසිද්ධ වන්නේ මියන්මාරයය. ලෝකයේ බොහෝ රටවල තරුණ පිරිස් රැගෙන යන්නේද ඒ රටේ කඳවුරු වෙතය. එම තරුණයින් යොදාගන්නේ සයිබර් අපරාධ සඳහාය. අද වනවිටද මේ කියන කඳවුරු වල සිර වූ ලාංකික තරුණි පිරිස සිය ගණනක් හෝ දහස් ගණනක්ද විය හැකිය. එහි සිරගතව නොයෙකුත් වධබන්ධනවලට ලක්ව සිටි තරුණ තරුණියන් සැලකිය යුතු පිරිසක් පසුගිය වසරේ මෙරටට ගෙන්වා ගන්නේද රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හා නිල නොවන අයුරින් පුද්ගල මට්ටමින් කළ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් හැටියටය.
පසුගියදා මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේද මෙරට තුළ රැදී සිටින පුද්ගලයන්ට අමතරව ඩුබායි හි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ද මෙසේ තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රැකියා සඳහා යොදාගන්නා බවය. එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේදී ජනතාව විශේෂ අවධානයක් යොමුකරන ලෙසය.
ආර්ථික දුෂ්කරතා හමුවේ මිනිසුන් විදේශගතවීම දරිද්‍රතාවයේ නිමක් නොවන ගැටලුවකි. එය වටහාගැනීමද අසීරුකාරණයක්ද නොවේය. එහෙත් එයට මුවාවී සිදුකරන මිනිස් ජාවාරම යනු ජාතික ආරක්‍ෂාවේ සිට ගෝලීය ආරක්‍ෂාව දක්වා ඇතිවන්නා වූ අර්බුදයකි. එයට විසඳුම් වන්නේ ආරක්‍ෂක අංශ සිදුකරන්නා වූ වැටලීම් හා එහි අවධානම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමය. එයට හේතුව වන්නේ දැනටමත් මේ මිනිස් ජාවාරමට ගොදුරුවූවන් බේරාගැනීම හා ඉදිරියේදී මේ උගුලට අසුවීමට නියමිත තරුණ ජීවිත කල්තියාම බේරාගැනීමය.
රමින්ද මාවතගේ | Divaina