මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය – 2024 හා ලාංකීය හෙදකම

මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය – 2024 හා ලාංකීය හෙදකම

ජාත්‍යන්තර හෙද කවුන්සිලය විසින් 1974 වර්ෂයේ සිට අඛණ්ඩව සෑම වර්ෂයක ම මැයි 12 වැනි දිනය ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ. 1965 වර්ෂයේ සිට ම ජාත්‍යන්තර හෙද දින සැමරුම් පැවැත්වුවද නූතන හෙද සේවාවේ නියමුවරිය ලෙස සැලකෙන ෆ්ලොරන්ස් නයිටිං ගේල් මැතිනියගේ ජන්ම දිනය (1920-05-20) සිහිපත් කරදා වස් මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය සේ සලකනු ලබයි. ලොව පුරා ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ නියාමනයට ලක්වන රටවල් 130ක මෙම හෙද දින සැමරුම පවත්වනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේදී ද හෙද දින සැමරුම් පවත්වනු ලබයි.

කාර්මික විප්ලවය (Industrial revolution 1760-1840) හා ඊට පෙර ක්‍රි:ව: 500 – 1500 කාලයේ දී යුරෝපය පුරා ආර්ථික හා කාර්මික පුනරුදයක් ඇති වුවද හෙද සේවාව ඉතාමත් තදින් පිරිහිණි. එබැවින් ක්‍රි:ව: 1500-1960 සමය හෙද සේවාවේ අඳුරු යුගය ලෙස සැලකෙයි. හෙද සේවාවේ අඳුරු යුගය තුළ සේවාවේ ගුණාත්මකභාවය සේ ම ප්‍රමාණාත්මකතාවය ද බිඳවැටී තිබූ අතර සමාජයේ අපවාදයට ලක් වූ වෘත්තියක් විය. එවන් සමයක අනන්ත වූ මානව දයාවෙන් යුතු වූ නයිටිං ගේල් මැතිනිය හෙද සේවාවට එක්වී පැවති පාලන තන්ත්‍රයේ අවධානය හෙද සේවාව වෙත යොමු කර ගනිමින් නූතන යුගයේ ඉහළින් ම වැජඹෙන වෘතීන් අතරට හෙද සේවාව ගෙන ඒමට සුවිසල් කාර්යය භාරයක් ඉටු කළාය.

හෙද දින තේමාව – 2024

ජාත්‍යන්තර හෙද කවුන්සිලය සෑම වසරක ම හෙද සේවාවේ අභිලාෂයන් මුදුන්පත් කරගනු පිණිස හෙද දින තේමාවක් ඉදිරිපත් කරනු ලබයි. හෙද කවුන්සිලය විසින් 1988 සිට ගෝලීය හෙද දින තේමාවක් ලබාදෙමින් සිදුකරනු ලබයි.

“Our nurses, our furure, ecomomic power of care.”

“අපේ අනාගත ආර්ථික රැකවරණයේ බලය හෙදියයි”

යන්න 2024 වර්ෂයේ ජාත්‍යන්තර හෙද කවුසිලයේ හෙද දින තේමාවයි.

සෞඛ්‍ය සම්පන්න මිනිසුන් සහිත සමාජයක් නිර්මාණය කරන්නට නම්, සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක් සහ සද්කාරක සේවාවක් බලගැන් වියයුතු බව මෙයින් අදහස් කරන අතර ඒ සඳහා සෞඛ්‍ය සේවාවන්ගේ කොඳුනාරටිය වන හෙද සේවාව වඩාත් ශක්තිමත්ව බල ගැන්විය යුතු බව අවධාරණය කරයි.

ලෝකයේ සමස්ත ජනතාව මුහුණ දෙන සෞඛ්‍යය අභියෝගයන් ජය ගැනීම පිණිස කටයුතු කිරීමේදී හෙද සේවාව මුහුණ දෙන අභියෝග සෑම වසරක දීම හෙද දින තේමාවන් ඔස්සේ සාකච්ඡාවට බඳුන් කිරීම හා අදාළ වැඩපිළිවෙළ සකස් කිරීම වඩාත් ජනතාවාදීව ජාත්‍යන්තර හෙද කවුන්සිලය විසින් ඉටු කරනු ලබයි.

ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන මූල්‍ය අර්බුදයන් හමුවේ සෞඛ්‍ය සේවයේ අයවැය සීමා කරයි. ජාත්‍යන්තර හෙද කවුන්සිලය අවධාරණය කරන්නේ මේ පවතින ආර්ථික දර්ශනය දැන් වෙනස් කළ යුතු බවයි. ඒ වෙනුවට සෞඛ්‍යයේ රැකවරණය තහවුරු කරන, ජනතාවත් හෙදකමත් බලමුළු ගන්වන ක්‍රමයක් අවශ්‍ය බව යෝජනා කරයි.

හෙද දිනය හා ලාංකීය හෙදකම

ජාත්‍යන්තර හෙද දිනය පිළිබඳ ලාංකීය කතිකාව අතිශයින් පටුය. එය හුදෙක් රාජ්‍ය අනුග්‍රහය සහිතව හෝ රහිතව සිදු කරනු ලබන ෆ්ලොරන්ස් නයිටිං ගේල් යන හැඟුම් කාරකය හා බද්ධ කරනු ලබයි. ඇය විසින් ලොවට ජාත්‍යන්තර හෙද කවුන්සිලය ඉදිරිපත් කරන ලද හෙද දින තේමාව නොසලකා හරී. ඒ තේමාවට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු ගනු වෙනුවට බාල බොලඳ නයිටිං ගේල් ආමිස පූජාවන් පවත්වනු ලබයි.

හෙද දින තේමාව අනුව අප රට ක්‍රියාත්මක වන්නේ නම් සෞඛ්‍යයට වෙන් කරන ලද මුදල් ප්‍රමාණය වැඩි කළ යුතුවා පමණක් නොව, එහි කොඳුනාරටිය ලෙස ජාත්‍යන්තරය පවා පිළිගන්නා හෙද සේවාව ඉහළම තැනකට ගෙන ආ යුතුය.

විශේෂයෙන් හෙද අධ්‍යාපනය යාවත්කාලීන කිරීම, යල්පැනගිය ක්‍රමවේද වෙනුවට විද්‍යාත්මක හෙද සාත්තු විධික්‍රම ස්ථාපිත කිරීම, ප්‍රජා සෞඛ්‍යය හෙද සේවාව වඩ වඩාත් පුළුල් කිරීම, උසස් අධ්‍යාපනික අවස්ථා ඇති කිරීම, හෙද සේවාව ස්වාධීන වෘත්තියක් කිරීම, හෙද සභාව වැනි ආයතන බලාත්මක කිරීම වහ වහා ම කළ යුතුය.

එසේ ම රටේ බහුතරයක් ජනතාවත්, “සෞඛ්‍යය යනු වෛද්‍ය ලෙසත් ප්‍රතිකාර යනු ඖෂධ ලෙසත්” සලකන සෞඛ්‍ය සාක්ෂරතාවය ඉතාමත් අල්ප රටකට හෙද සේවාවක වටිනාකම දැනේද?

හෙද සේවයේ අධ්‍යාපනික අවස්ථා අහුරමින් තිබේ. වැඩ පීඩනය වැඩිවෙමින් තිබේ. බාල ඖෂධ කොමිස්වලට ගෙන එමින් ජනතාව ඝාතනය කරමින් තිබේ. රට හැර යන හෙද නිලධාරීන් ප්‍රමාණය අතිශයින් වැඩි වී තිබේ. හෙදකමේ අඳුරු යුගයේ සේම පැය 24, 36 වැඩ කිරීමට හෙදියන්ට බල කරමින් තිබේ. අඩු වැටුප්, අධික වෙහෙස, අඩු සමාජ පිළිගැනීම්, නොසලකා හැරීම් ලාංකීය හෙද සේවයේ උරුමය බවට පත්වී තිබේ.

ඉතින් Our nurses, our furure, ecomomic power of care ඇතිවන්නේ කෙසේද?

ලාංකීය භූමිය තුළට හෙදකමේ උස් අභිමතාර්ථයන් එන්නට නම් මෙරට හෙද පරපුර පමණක් නොව, සමස්ත ලාංකීය පුරවැසියන් දැනුවත්, මැදිහත් වීමක් කළ යුතුය.

රවීන්ද්‍ර කහඳව ආරච්චි

සභාපති

සමස්ත ලංකා හෙද සංගමය

(දිවයින)