එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාදයි, සෞඛ්‍ය සේවාවන් අද (13) මධ්‍යම පළාතේ වැඩ වර්ජනයක්

එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාදයි, සෞඛ්‍ය සේවාවන් අද (13) මධ්‍යම පළාතේ වැඩ වර්ජනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට දින එනම් මැයි මස 13 වෙනි සදුදා උදෑසන 8 සිට 12 දක්වා පැය 4 ක සේවාවෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් මධ්‍යම පළාතේ රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතනවල ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය අප්‍රේල් මස 03 වෙනදා පැවැත් වූ සාකච්ඡාවේදී ඇතිකල එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේදී 15කට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණයක් ඉවත් කොට චක්‍රලේඛ නිකුත් කිරීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත.

 පහුගිය බ්‍රහස්පතින්දායින් උතුරු මැද පළාතෙන්  ආරම්භ වූ මෙම ක්‍රියාමාර්ගය පළාත් වශයෙන් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව පහත දැක්වෙන දිනයන්හිදී එම දැක්වෙන පළාත් තුළ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල පැය 4 ක සේවාවෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනු ඇත.මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව එම වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයන් ද ක්‍රියාත්මක වනු ඇත.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට සෞඛ්‍ය සේවාවේ පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවාවේ සියලු කාර්ය මණ්ඩලයන්, සෞඛ්‍ය කාර්ය සහයක කාර්යමණ්ඩලය, සෞඛ්‍ය කළමනාකරණ සහකාර කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කාර්යමණ්ඩලය, ජීව වෛද්‍ය ඉංජිනේරු සියලු කාර්ය මණ්ඩලයන් ඇතුළු වෘත්තීය සංගම් 72 කට අදාළ කාර්ය මණ්ඩලය සම්බන්ධ වනු ඇත.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල් සහ සෞඛ්‍ය පද්ධතිය තුළ සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ සේවා  CT, MRI පරීක්ශණ සේවා , ඖෂධ බෙදා හැරීම සහෞෂධ නිකුත් කිරීම, ECG , EEG පරීක්ශණ සේවා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ක්ෂේත්‍ර පරීක්ෂණ සේවා සහ සායන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් විසින් සිදුකරන සියලු සායන ඇතුළු සෞඛ්‍ය සේවාවේ සේවාවන් අඩපණ වීමක් සිදුවනු ඇත.

කෙසේ නමුත් වර්ජන ක්‍රියාමාර්ග පැවැත්වෙන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සහ හදිසි පරීක්ෂණ සේවා ඉටුකිරීමට ස්වේච්ඡා කාර්ය මණ්ඩලය යෙදවීමට වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

13 - මධ්‍යම පලාත

14 - සබරගමුව පලාත

15 - වයඹ පලාත

16 - දකුණු පලාත

20 - ඌව පලාත

21 - බස්නාහිර පලාත

මෙම ක්‍රියාමාර්ගයන්ට අදාල බලධාරීන් ප්‍රතිචාර නොදක්වන්නේ නම් 21 වෙනිදායින් පසු දිවයින පුරා සියලු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා මෙම ක්‍රියාමාර්ග ව්‍යාප්ත කිරීමට මේ වනවිට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර ඇත.

සැබැඳි පුවත්