සෞඛ්‍ය පද්ධතියේ මූල්‍ය විනයට තාක්ෂණික කරුණු සලකා බැලීම වැදගත් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

සෞඛ්‍ය පද්ධතියේ මූල්‍ය විනයට තාක්ෂණික කරුණු සලකා බැලීම වැදගත් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

තාක්ෂණික කරුණු සලකා බැලීමකින් තොරව සිදුවන විගණන කටයුතු  හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියේ පරිපාලන කටයුතු වලට එල්ල වී ඇති බාධාවන් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙත ලැබි ඇති පැමිණිලි බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඕනෑම රටක ආර්ථික ක්‍රියාවලිය ක්‍රමවත්ව ඉදිරියට ගමන් කිරීමට නම් එහි මූල්‍ය විනය පවත්වා ගැනීම අනිවාර්ය කාරණයකි.

ඉතිහාසය පුරාම මෙරට පාලකයින් රට තුළ මූල්‍ය විනය පවත්වා ගැනීමට අපොහොසත් වීම හෝ හිතාමතාම මූල්‍ය විනය බිඳ දැමීම, වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රධානතම හේතුවයි.

පසුගිය සමයේදී ශ්‍රී ලාංකීය පුරවැසියන් රට තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ සිදුකරන ලද සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූ කරුණක් වූයේ මූල්‍ය විනය පවත්වා ගැනීම සහ විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. රට තුළ වඩා ශක්තිමත් සහ පාරදෘශ්‍ය විගණන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම අතිශයින් වැදගත් බව අපි විශ්වාස කරමු. පසුගිය සමයේදී ඉදිරිපත් වුණු නව විගණන පනත ද එම ගමනේ තවත් එක් සාධනීය පියවරකි.

වඩා ශක්තිමත් විගණන ක්‍රියාවලියක් රට තුළ ස්ථාපිත කිරීම මඟින් ආර්ථික ක්‍රියාවලිය මුහුණ දී ඇති අර්බුද ගණනාවකට නිතැතින්ම පිළියම් ලැබෙන අතර ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ද වැඩිවන බව අපි විශ්වාස කරමු. ඕනෑම විගණන ක්‍රියාවලියක් වඩා සාර්ථක වන්නේ ඊට අදාළ තාක්ෂණික කරුණුද සලකා බලමින් අදාළ විගණන සහ විමර්ශන කටයුතු සිදු කිරීමෙනි.

විගණන ක්‍රියාවලියේ අරමුණ පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම වුවද, වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණන ඒකකයේ ඇතැම් ක්‍රියා කලාපයන් රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාවයට සහ ඵලදායීතාවයට අහිතකර බලපෑම් එල්ල කරමින් පවති.

යම් සිදුවීමකට අදාල විමර්ශනයේදී තාක්ෂණික කරුණු සහ පසුබිම නොසලකා හැරීම හෝ එම කරුණු නොදැනීම නිසා, අදාළ විමර්ශනයෙන් අසාධාරණ තීන්දු ලැබුණු අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන් අප වෙත පැමිණිලි ලැබී ඇත. මේ නිසා රෝහල් පරිපාලකයින් හට තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට බාධා ගණනාවක් උද්ගත වී ඇත.

කොවිඩ් වසංගතය සමයේ රෝගී සත්කාරක සේවා වෙනුවෙන්  විශේෂිත හා ඉතා හදිසි අවශ්‍යතාවයක් සේ සලකා සිදු කරනු ලැබු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම ඇතුළු රාජකාරිමය කටයුතු සම්බන්ධයෙන් රෝහල් පරිපාලකයින් ගණනාවකට එරෙහිව විගණන කටයුතු ආරම්භ කිරීම ඊට හොඳම උදාහරණයකි.

කල්මුණේ අශ්රෆ් අනුස්මරණ රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඉදි කරන ලද ප්‍රතිකාර සහ අතරමැදි මධ්‍යස්ථානත්, ඒවායේ ඇති බඩුබාහිරාදිය සම්බන්ධයෙනුත් රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව විගණන විමර්ශනයක් ආරම්භ කර තිබීම ඊට ආසන්නතම විමර්ශනයයි. මෙහිදී එවකට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවති කොවිඩ් අධි වසංගත තත්ත්වයන් කිසිසේත්ම නොසලකා සාමාන්‍ය තත්ත්වයන් යටතේ තිබුණේ යැයි යන උපකල්පනය මත එල්බගෙන විගණන විමර්ශනය ක්‍රියාත්මක කිරීම තුල අදාල වෛද්‍ය පරිපාලකයින් දැඩි කලකිරීමකට සහ කැළඹීමකට පත්ව ඇත.

විගණන ක්‍රියාවලියේ අරමුණ කාර්යක්ෂමතාවය සහ ඵලදායතාවය වැඩි කිරීම වුවද මෙබඳු සිදුවීම් හරහා සිදුවනුයේ කාර්යක්ෂමතාවය අවම වීමයි.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කමිටු ඉදිරියට කැඳවීම මෙන්ම එහිදී නිර්මාණය වන විවිධ සිදුවීම් කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු වී ඇත.

වාර්ෂික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වසරකට වරක් හෝ දෙවරක් පාර්ලිමේන්තුවේ COPA හෝ COPE වැනි කමිටු  ඉදිරියට කැඳවීම සාමාන්‍ය කරුණක් වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා නිරන්තරව කැඳවීමත්, එම අවස්ථාවන්වලදී ඇතැම් නිලධාරීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අනවශ්‍ය අපහසුතාවයකට හා පීඩනයකට ලක්වී ඇති අතර එදිනෙදා රාජකාරි කටයුතු සඳහා ද බාධාවන් ඇති වී ඇති බව අප වෙත පැමිණිලි ලැබී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය අර්බුද ගණනාවක් මධ්‍යයේ වුවද ධනාත්මක සහ සාධනීය ගමනක් යාමට උත්සහා කරමින් සිටින මොහොතක, මෙවන් දේ නිසා සිදුවනුයේ එම ගමන අඩාල වීමයි.

මෙම සියළු කරුණු සලකා බලා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණන සහ විමර්ශන ඒකක වල ක්‍රියාකාරීත්වය සමාලෝචනය කරමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු තාක්ෂණික කරුණු එම විමර්ශන වලට අදාළ කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන මෙන් ඉල්ලා සිටින අතර ඒ තුල රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය තවත් ඉහල නංවා ගැනීමටත්, නිවැරදි විගණනයන් හරහා සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය වැඩිදියුණු කිරීමටත් හැකි වනු ඇති බව අප තරයේ විශ්වාස කරමු.