වයස අවුරුදු 20 ත් 30 අතර තරුණ ප්‍රජාවට සරම්ප එන්නත්කරණය ආරම්භ කෙරේ

sarampa-vaccsine

වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අද දින (09) ආරමිභ කරන ලදි.

එම එන්නත්කරණ වැඩපිළිවෙලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම ප්‍රාදේශීය රෝහලේ ක්‍රියාත්මක සරමිප එන්නත් සායන මස්ධ්‍යස්ථානය  සහ කොළඹ 5 කිරුළ මාතෘ නිවාසයයේ සායන මධ්‍යස්ථානය තුල ක්‍රියාත්මක සරමිප එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ (යුනිසෙෆ්) මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වමින්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ...

විශේෂ සරම්ප / රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ  සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය නිවාස 90000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇත‍ි බවත්, එහිදී මෙම එන්නත ලබා දිය යුතු තරුණ කණ්ඩායම් කවුද යන්න හදුනාගෙන තිබෙන බවත්, එ අනුව විවිධ ආයතන, විශ්ව විද්‍යාල වල සරම්ප එන්නත් මෙතෙක් ලබා නොතිබි සහ එක් මාත්‍රාවක් පමණක් ලබා ගෙන සිටි වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ ප්‍රජාවට මෙම වැඩසටහන තුළින් සරම්ප එන්නත ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන බවයි.

මෙම විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල ඉදිරි සෙනසුරාදා දින 4 ක් තුළ ද ක්‍රියාත්මක බවද පැවසීය.

එමෙන්ම මේ වන විට  හදුනාගත් දිස්ත්‍රික්ක 12ක් සහ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 206 ක මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක  බව බවද පැවසීය.

සරම්ප එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 09 සිට 15 දක්වා දරුවන් වෙත ද මෙහි දී සරම්ප එන්නත ලබාගත හැකි බව ද පැවසීය.

නොවැම්බර් මස 04 සිට 09 දක්වා විශේෂ සරම්ප / රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක්  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කල අතර ඊට සමගාමීව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

 මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා,  විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් එක්ව සිටියහ.