ලංකාවේ දැනට පවතින CT scan යන්ත්‍ර වලින් ඉතා පැරණිම යන්ත්‍රය කළුතර මහ රෝහලේ ස්ථාපනය කර තිබෙන අතර එම යන්ත්‍රය 2023 වසරේ පෙබරවාරි මාසයේ සිට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එම යන්ත්‍රය ඉතා පැරණි එකක් වූ හෙයින් 2021 වර්ෂයේදී කළුතර මහ රෝහලට CT යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැදවීම සිදුකරන ලදී.
ටෙන්ඩර් කැඳවීම 2021 වර්ෂයේ සිදුකර අදාළ සපයුම්කරුවකු තෝරා ගැනීම ආසන්න කාලයේ සිදුකළද යන්ත්‍රය මිලදී ගැනීම සඳහා තෝරාගත් සැපයුම්කරුට යන්ත්‍රය සැපයීමට අදාළ ලිපි නිකුත් කිරීම සිදුකළේ 2024 වර්ෂයේ මුල් අවධියේය. ආරම්භයේ සිටම දැඩි මන්දගාමී ස්වරූපයකින් කටයුතු සිදුවූ මෙම ක්‍රියාවලියේ ණයවර ලිපි නිකුත් කිරීම ජූලි මාසයේ සිදු කිරීමට නියමිතව තිබුණත් මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම ණය වන ලිපි නිකුත් කිරීම සිදුකර නොමැත.
මෙම යන්ත්‍රය 2021 වර්ෂයේදී කැඳවූ මිල ගණන් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයිය යුතු අතර තවදුරටත් ප්‍රමාද වීමේදී පැරණි මිල ගණන් වලට යන්ත්‍රය සැපයීම කළ හැකිදැයි ප්‍රශ්න සහගත වී ඇත.එසේම යම් හෙයකින් මෙම ටෙන්ඩර් ගනුදෙනුව අහෝසි කොට නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ හොත් යන්ත්‍රයක් මිලදී ගැනීමට සිදුවන්නේ වර්තමාන මිල ගණන් යටතේය. මේ වන විට නව යන්ත්‍ර වල මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. නව කැඳවීමක් හමුවේ ඉහළ මිල ගණන් යටතේ යන්ත්‍රය මිලදී ගැනීමට සිදුවුවහොත් එය සෞඛ්‍ය අමාත්‍යංශයට බරපතළ පාඩුවක් වනු ඇත. එවකට යන්ත්‍රය සැපයීමට නියමිතව තිබූ ඒ රුපියල් මිලියන 150 මුදලකටය.
මේ වන විට කළුතර මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය නොමැතිවීම හේතුවෙන් CT scan පරීක්ෂණ සිදු කළ යුතු රෝගීන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හොරණ මූලික රෝහල වැනි රෝහල් වෙත ගිලන් රථ මගින් ප්‍රවාහනය කළ යුතුව ඇත. මෙම වසර දෙකක කාලය තුළ රෝගීන් ප්‍රවාහනය සඳහා ඉතා විශාල මුදලක් වැයකර ඇති අතර මුල් අවධියේදී පුද්ගලික රෝහල්වලින් CT ස්කෑන් පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා රුපියල් කෝටි 5ට වැඩි මුදලක් වැයකොට ඇතැයි තොරතුරු වාර්තාවේ.
මෙම යන්ත්‍රය මිලදී ගැනීම තවදුරටත් ප්‍රමාද නොකොට කඩිනමින් එම යන්ත්‍රයක් කළුතර මහ රෝහලට ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු බලධාරීන්ගේ වගකීමක් වේ.
10/11/2024
චානක ධර්මවික්‍රම සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය