සූරා කෑමට, මර්දනයට සහ බහුවිධ පීඩනයන්ට එරෙහි කම්කරු ස්ත්‍රීන්ගේ ඒකාබද්ධ මැයි රැලිය කටුනායකදී...

සූරා කෑමට, මර්දනයට සහ බහුවිධ පීඩනයන්ට එරෙහි කම්කරු ස්ත්‍රීන්ගේ ඒකාබද්ධ මැයි රැලිය කටුනායකදී...

ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය සැමරීමට, කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා වූ ඓතිහාසික අරගලයේ මුල්බැසගත් කාරණාවක් ඇත. 1886 මැයි 01 වන දින ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් හිදී වඩා හොද සේවා කොන්දේසි, සාධාරණ වැටුප් හා සේවා මුරය පැය 08 කට සිමා කරන ලෙස ඉල්ලමින්, කම්කරුවන් සුළු පිරිසකගෙන් ආරම්භකල අරගලය මැයි 03 වන දින වන විට 65,000 ක පමණ පිරිසක් එක් විය. එම අරගලයේදී පොලිස් මර්ධන ක්‍රියා යටතේ දී දිවි පිදු සහ ලේ වැගිරූ කම්කරුවන් සැමරීම ආරම්භ කෙරිණි. එම දිවි පිදු සහ අරගල කළ කම්කරුවන්ගේ  ධෛර්්‍ය සහ අධිෂ්ඨානය ලොව පුරා පැතිරී ගොස් එදා කම්කරුවන්ගෙන් ගලා ගිය ඒ රුධිරය සැමරීම සදහා රක්ත වර්ණයෙන් සැරසී කම්කරුවෝ විදි බසිමින්, පෙළපාලි යමින්, සටන් පාඨ කියමින් ලොව පුරා කම්කරුවෝ මැයි දිනය සමරති.

මෙවර අප සමරන්නේ 138 වන ජාත්‍යන්තර කම්කරු දිනයයි. අද රට තුල පවතින අර්බුදකාරී සමාජ, ආර්ථික හා දේශපාලන තත්වය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අතර කම්කරුවන්ගේ සියලු අයිතීන් අහිමි කර ඇති මොහොතක විශේෂයෙන්ම කම්කරුවන් සූරා කෑමට, මර්දනයට හා අනෙකුත් බහුවිධ පීඩනයන්ට ගොදුරු වී ඇත. ශ්‍රී ලංකික කාන්තාවන් වන අප විවිධ කර්මාන්ත හා ක්ෂේත්‍ර සදහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරයි. එම අගනා දායකත්වය නොතකා කිසිදු වැටුප් වර්ධනයකින් තොරව, අනාරක්ෂිත සේවා කොන්දේසි, වෙනස් කොට සැලකීම්, සංවිධානගත වීමේ අවස්ථාවන්ට ඉඩ නොදෙමින් / සාංගමික නිදහස දැඩි ලෙස අවම කරමින්, හා කාන්තාවන් ලෙස සංවර්ධනයට ඇති අවස්ථා සිමා කිරීම වැනි අභියෝග වලට අප දිගින් දිගටම මුහුණ දෙන්නෙමු. සංක්‍රමණික, අඩු ආදායම්ලාභී, විවිධ වාර්ගික, LGBQ ප්‍රජාවන් ඇතුළු ආන්තික කණ්ඩායම් සදහා මෙම අභියෝග විශේෂයෙන් උග්‍ර වේ.

මෙවැනි පීඩාකාරී අවස්ථා තුල කම්කරු, ගොවි, ධිවර, තේ වතු ඇතුළු අනෙකුත් පිඩිත ජන කොටස් නැගී සිටීම මර්දනය කරමින් කම්කරු නීති සංශෝධන / ප්‍රතිසංස්කරණ, ත්‍රස්ත විරෝධී පනත, ධිවර පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණ පනත, වැනි පනත් හරහා කම්කරුවන් සහ පොදු ජනතාව තව තවත් මර්දනය කරමින් ඔවුන් අඩපන කිරීමට සුදානම් වන්නේ ආණ්ඩුවට වෙනත් විකල්ප හෝ කිසිම වැඩ පිළිවෙලක් නොමැති බැවිනි.

මේ සියලු පීඩනයන්ට එරෙහිව අප මෙම වසරේ ස්ත්‍රී මධ්‍යස්ථානය ප්‍රමුඛ අනෙකුත් බහු ජන සංවිධාන එක්ව මෙවර මැයි දිනය නිදහස් වෙළෙද කලාප, ඇගලුම්, තේ වතු, ධිවර, නිවාස සහ ඉඩම් අහිමි කාන්තාවන් සහ මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඇතුළු 400 ක පිරිසකගේ සහභාගිත්වයෙන් කටුනායකදී පැවැත් වේ.

මැයි 01 වන දින පෙ.ව 10.00 ට කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ප්‍රධාන දොරටුව අසලින් ආරම්භ වන පාගමන, අමන්දොලුව බේස්ලයින් මාර්ගය ඔස්සේ , කුළුණ පසුකර ජයවර්ධනපුර මාර්ගය හරහා බුදු මැදුර අසලින් නැවත දකුණට හැරී බේස්ලයින් මාර්ගයට පිවිස කාගිල්ස් වෙළෙදසැල අසලදී  රැළිය පැවැත් වේ.

එන්න අප හා එක්වන්න ! ශක්තිමත්ව සංවිධානය වෙමින් නැගී සිටින්නට........ කම්කරුවන් ලෙස. යුක්තිය හා සමානත්මත්වය ඉල්ලා සිටිමින් සෑම කාන්තාවකටම අභිමානයෙන් වැඩ කල හැකි බල ගැන්වෙන ලෝකයක් ගොඩ නැංවීමට කටයුතු කරමු !

ලෝක කම්කරු දිනයට ජය වේවා !

ස්ත්‍රී මධ්‍යස්ථානයට ජය වේවා !

එකා බද්ධ කම්කරු කාන්තා මැයි රැළියට ජය වේවා !