රට පුරා හොර සෞඛ්‍ය වෘත්තිකයින් ව්‍යාප්ත වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය විද්‍යාල සභාව සහ වෛද්‍ය සභාවේ වැරදි නිසා - රවි කුමුදේස්

රට පුරා හොර සෞඛ්‍ය වෘත්තිකයින් ව්‍යාප්ත වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය විද්‍යාල සභාව සහ වෛද්‍ය සභාවේ වැරදි නිසා - රවි කුමුදේස්

ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය වෘත්තිකයකු ලෙස රෝගී සත්කාර සිදුකිරීම සඳහා නීත්‍යානුකූල අවසරය ලබා දෙන හා එම වෘත්තිකයන් නියාමනය කරන ආයතනය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි (Sri Lanka Medical Council – SLMC). ඖෂධ නියාමන අධිකාරිය හරහා හොර ඖෂධ ලියාපදිංචි කිරීමේ මාෆියාව මෙන්ම, වෛද්‍ය සභාව හරහා හොර වෘත්තිකයන් ලියාපදිංචි කිරීමේ මාෆියාවක්ද මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ට අදාලව පමණක් වෛද්‍ය සභාව මේ වන විටත් දේශීය හා විදේශීය ආයතන සියයකට ආසන්න ප්‍රමාණයක උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා නීත්‍යානුකූල අවසරය ලබා දෙමින් තිබෙන අතර, එම නීතියානුකූලභාවය ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ ඊට අදාළව එකී වෘත්තියවේදීන්ගේ දායකත්වය ලබා ගැනීම කාලාන්තරයක් තිස්සේ හිතාමතාම මඟහැර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා වෘත්තීමය අධ්‍යාපන තත්ත්වය පිළිබඳව නිර්දේශ ලබාදෙන, ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව (Ceylon Medical College Council - CMCC) හතු පිපෙන්නා සේ බිහිවන ඕනෑම උපාධි හෝ ඩිප්ලෝමා කඩයකට මෙන්ම කිසිවෙක් නොදන්නා විදේශ පාඨමාලාවකට හෝ වෘත්තීමය විෂය පථයට කිසිසේත්ම අදාල නොවන ඕනෑම උපාධියකට අදාලව පරිපූරක වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වීමේ නිත්‍යානුකූල හැකියාව ලබා දෙන බව ඔවුන් විසින් මෙතෙක් එලෙස අවසරය ලබා දී ඇති ආයතන ලැයිස්තුව (ඇමුණුමෙහි දක්වා ඇත) පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිළිය.

බැලූ බැල්මට මෙය සාමාන්‍ය නොසලකා හැරීමක් ලෙස පෙණුනද, අනීතික සහ නොගැළපෙන කණ්ඩායම් සඳහා වෘත්තීමය නීත්‍යානුකූල බව ලබා දෙන ජාලගත ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වේ. එසේම වෛද්‍ය සභාව සහ වෛද්‍ය විද්‍යාල සභාව පාලනය කරමින් සිටින ඇතැම් වෛද්‍ය නිලධාරීන් අනෙකුත් වෘත්තීමය සෞඛ්‍ය සේවාවන් නොසලකා හැරීම සහ ඒවාට ජාතිකව සහ ජාත්‍යන්තරව ඇති පිළිගැනීම නැති කිරීම සඳහාද මෙලෙස කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.

මේ වන වන විට වෛද්‍ය විද්‍යාල සභාව විසින් නීත්‍යානුකූල අවසරය ලබා දෙන පාඨමාලා සහ උපාධි ආයතන අතුරින් 80ක් පමණ ඊට අදාළ සුදුසුකම් සපුරා නැති අතර, එම නීතියානුකූල අවසරය ලබාදීමට පෙර අදාල විශය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික වෘත්තීයවේදීන් හරහා කිසිඳු පරීක්ෂාවකට ලක් කර නැත. එසේම ඒ සඳහා ඒ ඒ වෘත්තීන්ට අදාල වෘත්තීයවේදි ආයතන ඇතුලත් කර ගනිමින් නිසි ක්‍රමවේදයක් සැකසීම එම ආයතන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හිතාමතාම මඟ හැර ඇත.

රට තුළ නීතියානුකූල නොවන සෞඛ්‍ය වෘත්තිකයන් ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුව මෙලෙස අවිධිමත්ව ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය වන අතර, නිත්‍යානුකූල වෘත්තිකයන් ආරක්ෂා කිරීමේ සහ නීතියානුකූල නොවන වෘත්තිකයන් බිහිවීම වැලැක්වීම, වැටලීම සහ එවන් අය සඳහා දඬුවම් දීමේ වගකීම ඇති ආයතන විසින්ම, නීතියානුකූල නොවන වෘත්තිකයන් බිහි කිරීම සඳහා අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම, ඖෂධ නියාමන අධිකාරිය හරහා හොර ඖෂධ ජාවාරම උත්ප්‍රේරණය කිරීමටත් එහා ගිය දීර්ඝ කාලීන අනිසි ප්‍රතිඵල ලැබෙන භාවිතාවක් විය හැකිය.

මේ හේතුවෙන් විවිධ පෞද්ගලික අධ්‍යාපන කඩ සමග ඇතැම් බලධාරීන්ට ඇති සම්බන්ධතා මූලික කොට ගනිමින් තමන්ට හිතෛෂී ඕනෑම ආයතනයක, ඕනෑම පාඨමාලාවක් සඳහා නීතියානුකූල භාවය ලබාදීමේ ක්‍රමයක් කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් තිබේ. මේ හේතුවෙන් ලංකාව තුළ හොර ඖෂධවේදීන්, හොර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්, හොර භෞත චිකිත්සකයින්, හොර වෘත්තිය චිකිත්සකයින්, හොර විකිරණ විද්‍යාවේදීන්, හොර කථන චිකිත්සකයින්, හොර පෝෂණවේදීන් හොර අක්ෂි තාක්ෂණවේදීන් ඇතුළු හොර සෞඛ්‍ය වෘත්තියවේදීන් විශාල වශයෙන් බිහි වී ඇති අතර, මෙවන් පාඨමාලා හරහා බිහිවන උපාධිධාරීන් විදේශගත වීම හරහා ශ්‍රී ලංකාවේ එකී වෘත්තීයවේදීන්ට ඇති ජාත්‍යන්තර පිළිගැනීමද බරපතල අභියෝගයකට ලක්වේ.

නිදසුනක් ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයකු ලෙස නිත්‍යානුකූලභාවය ලබා ගැනීමේ අවසරය ලබා දීම සඳහා සුදුසුකම් සපුරන පාඨමාලා තිහක් වෛද්‍ය විද්‍යාල සභාව විසින් ලියාපදිංචි කොට ඇත. එම පාඨමාලා ලියාපදිංචි කළේ කෙසේද? එම පාඨමාලා පරීක්ෂා කළේ කවුරුන් විසින්ද? එම පාඨමාලා අනුමත කරන ලද වෘත්තියවේදින් සඳහා එම විෂය ක්ෂේත්‍රය තුළ ප්‍රාමාණික දැනුමක් තිබුනේද? ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේද? යන්න වැනි ගැටළු සඳහා පැහැදිලි කිරීමක් ඔවුනට නොමැති අතර, ඒ කිසිවක් සඳහා කිසිඳු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥය වෘත්තියවේදියෙකු සහභාගී කරගෙන නොමැති බව පමණක් ඉතා පැහැදිලිය. එසේම එම ලයිස්තුවෙහි සඳහන් පාඨමාලා 30ක ප්‍රමාණය අතුරින් අවම වශයෙන් ‘වෛද්‍ය රසායනාගාර විද්‍යාව’ යන්න නමට පමණක් හෝ සඳහන් වන්නේ පාඨමාලා දහයක පමණි. ඉතිරි පාටමාලා කිසිවක් නමට හෝ වෛද්‍ය රසායනාගාර විද්‍යාවට අදලා නොවන බැවින්, කිසිසේත්ම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් ලෙස ලියාපදිංචි කල නොහැකි ඒවාය. තවද එම ලේඛණය තුල ඇති ශ්‍රි ලංකාව තුල පිළිගත් වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීමය උපාධියට සමාන නම්වලින් පෙනී සිටින ලේඛණයේ ඇති විදේශ උපාධි සහ ඩිප්ලෝමා බොහොමයක් ඔවුන්ගේ මව් රටවල පවා අනුමත කර නොමති ඒවාය.