විශ්වවිද්‍යාල අර්බුදය වහාම විසඳන ලෙස අ.වි.ශි.බ.ම. ඉල්ලීමක්

විශ්වවිද්‍යාල අර්බුදය වහාම විසඳන ලෙස අ.වි.ශි.බ.ම. ඉල්ලීමක්

අනධ්‍යන සේවක ගැටළු විසඳා විශ්වවිද්‍යාල නැවත යථා තත්ත්වයට පත කරන ලෙසට කරන ඉල්ලීමක් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, 2024/05/02 දින සිට මේ දක්වා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී. ඔවුන්ගේ වැටුප් කප්පාදුව නවතන ලෙසට බලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබේ. නමුත් ආණ්ඩුව ඔවුන්ගේ ගැටලුවලට නිසි පිළිතුරු ලබා දීමට තවමත් සූදානම් නැත. විශ්වවිද්‍යාලවලට අවශ්‍ය ප්‍රතිපාදනද හරිහැටි වෙන් නොකරමින් ඒවා ස්වභාවික මරණයකට ඇද දමා ඇති තත්ත්වයකදී, විශ්වවිද්‍යාල ආචාර්‍ය හිඟයද 50% ඉක්මවා ඇති තත්ත්වයකදී, අනධ්‍යන සේවකයින් ද ඔවුන් මුහුණ දෙන ආර්ථික ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල හැර දමා යන තත්ත්වයක් නිර්මාණය කර රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම මළගම කරා යාම ඉක්මන් කිරීම රනිල්-රාජපක්ෂ-IMF හවුලේ කූඨ සැලසුම වී ඇත. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපි ඊට තරයේ විරුද්ධ වන අතර අනධ්‍යන සේවක ගැටලු වහා විසඳන ලෙස බලකර සිටිමු.

එලෙසම මෙම වැඩවර්ජන තත්ත්වය තුළදී මාර්ගගත(online) අධ්‍යාපන ක්‍රමවේදය නැවත විකල්පයක් ලෙස යෝජනා කර තිබේ. එහි තිබෙන දුර්වලතාවයන්, අඩු ඵලදායීතාවය අපි පසුගිය COVID - 19 වකවානුව තුළ සැබෑ ලෙසම අත්වින්ඳෙමු. ඒ හේතුවෙන් පැලැස්තර විසඳුම් ලෙසට ගෙනෙන මෙම මාර්ගගත ක්‍රමවේදය අසාර්ථක එකකි.ඒ නිසා අපි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අනධ්‍යන සේවක ගැටලු විසඳා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙසට බලපෑම් කර සිටිමු. එසේ නොවන තත්වයකදී ක්‍රියාමාර්ග තලයට යෑමටද පසුබට නොවන බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.