මහ බැංකුව කපා හරින්නේ මේ රටේ ජනතාවගේ තැන්පතුවලින් උපයන මුදල් - ලංකා බංකු සේවක සංගමය

මහ බැංකුව කපා හරින්නේ මේ රටේ ජනතාවගේ තැන්පතුවලින් උපයන මුදල් - ලංකා බංකු සේවක සංගමය

ණය නොගෙවා පැහැර හැරීමෙන් ඔබ්බට ගොස් ලංකා හා මහජන බැංකු ද්විත්වය විසින් ණය සඳහා 2024 පළමු කාර්තුව තුළ ලැබිය යුතු පොලී ආදායම ලෙස වෙන් කළ මුදල් කපා හැරීමට මහ බැංකුව විසින් දැඩි උපදෙස් ලබාදී ඇති අතර, එසේ කපා හරින්නේ ද මහ බැංකු බලධාරින් උපයන ලද මුදල් නොව රටේ මහජනතාවගේ තැන්පතුවලින් ජනිතව බැංකු විසින් උපයන ලද්දක් බව අවධාරණය කරමින් වහාම මෙම තීරණය වෙන් කිරීමට කටයුතු කරන ලෙස රජයට බලකරමින් ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.

රාජ්‍ය ව්‍යවසායන් විසින් ප‍්‍රධාන රාජ්‍ය වාණිජ බැංකු දෙක වෙතින් ලබාගෙන නොගෙවා පැහැරහැර ඇති ණය කළඹ නිසා මතුව ඇති ගැටලූව

ලංකාවේ ප‍්‍රධාන රාජ්‍ය වාණිජ බැංකු ද්විත්වය වන ලංකා බැංකුව හා මහජන බැංකුව පසුගිය කාලසීමාව තුළ පැන නැගි සියලූ දේශීය හා විදේශීය ආර්ථික සුලි කුණාටුවලට මුහුණ දෙමින් මේ දක්වාම ශක්තිමත්ව ඉන්ද්‍රඛීලය සේ නොසැළී සිටී.  හෙට දවසේත් රටටත්, ජනතාවටත් උපරිම සේවාවක් සලසමින් බිඳ වැටුන ආර්ථිකයට ද පණනල දෙමින් සෞඛ්‍ය සම්පන්නව ඉදිරියට පවත්වා ගෙනයාමට අවශ්‍ය හැකියාව සහ ශක්තිය එම බැංකු සතුව පවතී. එවන් වූ 100% ජනතාව සතු එම ජාතික වස්තූන් ඉතා සියුම් ලෙස විනාශ මුඛයට ගෙනයාමට රටේ මූල්‍ය පද්ධතිය හසුරුවන්නන් අ¥රදර්ශී ලෙස තීරණ ගනිමින් සිටින අතර එය මෙම බැංකුවල සැබෑ හිමිකරුවන් වන ජනතාව වෙත හෙළිදරව් කිරීම මේ තීරණාත්මක මොහොතේ බැංකු පද්ධතිය තුළ ක‍්‍රියාත්මක වන වගකිවයුතු වෘත්තීය සංගමය ලෙස අපගේ පරම වගකීමක් කොට සළකමු.

පසුගිය අය වැය යෝජනා අවස්ථාව වනවිට, රාජ්‍ය ව්‍යවසායන් විසින් මෙම බැංකු දෙකට නොගෙවා පැහැර හැර තිබූ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1800 ක් පමණ වූ අතර එතුළින් බැංකුවලට එල්ල වූ පීඩනය එම අය වැය කතාව තුළ පවා වත්මන් ආණ්ඩුව පිළිගෙන තිබිණි. එසේම එම අවස්ථාවේ අප සංගමය ද මේ බව පෙන්වා දෙමින් එය ණය පොලිය සමග පියවා දමමින් මෙම බැංකු තවදුරටත් රාජ්‍ය අයිතිය යටතේ ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම ආණ්ඩුවේ සියලූ වගකිවයුත්තන්ට පෙන්වා දෙන ලදී.

මෙම රාජ්‍ය ව්‍යවසාය ණය කළඹ තුළ ප‍්‍රධානම තැනක් ගන්නා ඛණිජ  තෙල් නීතිගත සංස්ථාව විසින් බැංකු දෙකට නොගෙවා පැහැර හැර තිබූ ණය එම අවස්ථාවේ දී භාණ්ඩාගාරය වෙත පවරා ගනිමින් සංස්ථාවේ ශේෂ පත‍්‍රය නිරවුල් කර දුන් බැවින්  මේ වනවිට සංස්ථාව ලාභ ලබන බව ආණ්ඩුව පවසන අතර එහි මිල ගෙවන ලද්දේ ද ඉහළ ගිය ඉන්ධන පිරිවැයට කර ගැසූ රටේ ජනතාවයි.

නමුත් රටේ ආර්ථිකයේ ඉතාම අසීරු අවස්ථාවක සිය තනි ගැනුම්කාර ණය ගැනුම් සීමාවන් පවා අභිබවමින් මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත සංස්ථාවේ ණය බරට කර ගැසූ ප‍්‍රධාන රාජ්‍ය බැංකු ද්විත්වයේ එම ණය හා පොලිය ගෙවා දැමීමට සංස්ථාව හෝ භාණ්ඩාගාරය මෙතෙක් කටයුතු කොට නැත්තේ රටේ මහජනයා සිය ඉන්ධන මිල තුළ සංස්ථාවේ ණය ගෙවීම සඳහා එකතු කළ යම් පිරිවැයක් ද දරාගෙන ඇති තත්වයක් තුළය.

එසේම මෙම ණය නොගෙවා පැහැර හැරීමෙන් ඔබ්බට ගොස් මේ වනවිට එම බැංකු ද්විත්වය විසින් එම ණය සඳහා 2024 පළමු කාර්තුව තුළ ලැබිය යුතු පොලී ආදායම ලෙස වෙන් කළ මුදල් කපා හැරීමට මහ බැංකුව විසින් දැඩි උපදෙස් ලබාදී ඇත.

එසේ කපා හරින්නේ ද මහ බැංකු බලධාරින් උපයන ලද මුදල් නොව රටේ මහජනතාවගේ තැන්පතුවලින් ජනිතව බැංකු විසින් උපයන ලද්දක් බව අවධාරණය කළ යුතුව ඇත.

වැරදි කළමනාකරණ තීන්දු තුළින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තුළ ජනිත කරන ලද ණය බර නිසා රාජ්‍ය බැංකු තුළ නිර්මාණය වූ මෙම ණය බරින් ඔවුන් නිදහස් කරනු වෙනුවට ඒ බර ඔවුන් මත පැටවීම එම බැංකුවල සැබෑ අයිතිකරුවන් වන ජනතාවට එරෙහිව කරනු ලබන සාහසික අපරාධයක් බව පෙන්වා දෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත්  ඕනෑම ණය හිමියෙක් සමග ගනුදෙනු කරනු ලබද්දී අප රටේ දේශීය සම්පත් ආරක්‍ෂා කර ගනිමින් නිවැරදි හා බුද්ධිමත් උපායමාර්ගික තීන්දු ඔස්සේ එම ගනුදෙනු ගලපා ගැනීම වෙනුවට මෙලෙස අත්තනෝමතික ආකාරයට තීන්දු ගනිමින් රාජ්‍ය බැංකුවල ලාභයට හා ප‍්‍රාග්ධනයට පහර එල්ල කර ඒවා අවසන් වශයෙන් රාජ්‍ය අයිතියෙන් බැහැර කරවීමේ කුමන්ත‍්‍රණයකට ගොදුරු කරවීමට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම් ඒ සියලූදෙනා හෙළිදරව් කරමින් මෙම බැංකු ද්විත්වය ආරක්‍ෂා කිරීමට අප පසුබට නොවෙමු.

අප මේ සම්බන්ධව පසුගිය නොවැම්බර් 20 දින මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මූලික වශයෙන් දැනුවත්කර ඇති අතර මෙම මැයි 16 දින ජනාධිපති, මහ බැංකු අධිපති ඇතුළු සියලූ වගකිවයුතු අංශ වෙත මේ පිළිබඳව අපගේ ස්ථාවරය ලිඛිතව දන්වා ඇත. එබැවින් ආර්ථිකයේ සවිමත් කුළුණු දෙකක් ලෙස සමස්ත රට වැසියාට අපරිමිත සේවයක් සලසන මෙම බැංකු ද්විත්වය දුර්වල කිරීමට දියත් කර ඇති මෙම කුමන්ත‍්‍රණය හඳුනා ගනිමින් එය පරාජය කිරීමට අප හා අත්වැල් බැඳගන්නා මෙන් ඔබ සැමගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙයට - විශ්වාසී

රන්ජන් සේනානායක                                              

ප‍්‍රධාන ලේකම්