හොර දොස්තර අල්ලන්න මෙහෙුමට GMOA එකතුවෙයි

හොර දොස්තර අල්ලන්න මෙහෙුමට GMOA එකතුවෙයි

රට පුරා ව්‍යාප්ත වී සිටින ව්‍යාජ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් නිසා ජන ජීවිත දැඩි අවදානමකට පත්වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම පෙන්වා දී ඇති අතර, එම මැදිහත්වීම මත ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දුරකථන අංකයක් (1907) හඳුන්වා දීමට කටයුතු කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රට පුරා ව්‍යාප්ත වී සිටින ව්‍යාජ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් නිසා ජන ජීවිත දැඩි අවදානමකට පත්වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම පෙන්වා දී ඇත.

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් නීති විරෝධී ලෙස ප්‍රතිකාර සේවා සපයන පුද්ගලයින් 40,000 කට අධික පිරිසක් රට පුරා සිටින බව සමීක්ෂණ තොරතුරු හරහා අනාවරණය වී ඇති අතර මෙම ගැටලුව විසඳීමට වගකිවයුතු සියලු පාර්ශව එක් වී වැඩ කටයුතු කිරීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිගින් දිගටම සිදු කරන ලද මැදිහත්වීම් සහ යෝජනාවන්හි ප්‍රතිඵල ලෙස,

  • සෞඛ්‍ය අමාත්‍යංශය මට්ටමින් මෙම කටයුතු සම්බන්ධීකරණය සහ සැලසුම් කිරීම වෙනුවෙන් කමිටු දෙකක් පිහිටුවීම
  • ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පවතින නීති පද්ධතිය සංශෝධනය කර වඩාත් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධිකරණ අමාත්‍යංශය මගින් ආරම්භ කිරීම
  • ව්‍යාජ වෛද්‍යවරුන් වැටලීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් ඇතුලු වැටලීම් කණ්ඩායම් බලාත්මක කිරීම
  • ව්‍යාජ වෛද්‍යවරුන් වැටලීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීම

වැනි සාධනීය පියවර ගණනාවක් පසුගිය කාලයේදී ක්‍රියාත්මක කිරීමට හැකි විය.

මීට අමතරව මෙම ගැටලුව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් ජාතික දැනුවත් කිරීමේ සතියක්ද ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිතය.

එමෙන්ම අපගේ ඉල්ලීමක් මත, ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් පොලිස් දෙපාර්තමේන්තුව මගින් ද මේ වන විට ආරම්භ කර ඇත.

ව්‍යාජ වෛද්‍යවරුන්, නීතිවිරෝධි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඊට අනුබල දෙන පිරිස් වැටලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමට සුදානම් බව පසුගිය දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදි පොලිස් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් යලිත් තහවුරු කරන ලදි. 

ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වගකිව යුතු පාර්ශව වෙත මහජනතාව වෙතින් සෘජුව තොරතුරු සහ පැමිණිලි ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිගින් දිගටම සිදු කරන ලද යෝජනාවකි.

එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ඒ වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් වෙන් කිරීමට මේ වන විට තීරණය කර ඇත.

ඒ අනුව ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව මහජනතාව ලෙස ඔබට 1907 යන අංකය අමතා සෘජුවම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කිරීමේ අවස්ථාව දැන් විවර වී ඇත.

ව්‍යාජ වෛද්‍යවරුන්ගේ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් අවසානයේදී  අනතුරට ලක්වන්නේ ඔබේ ආදරණීයයන්ගේ ජීවිත බැවින්, මෙම උවදුර මැඩලීම සඳහා මහජන සහභාගිත්වය අතිශයින් වැදගත්ය.

වගකිවයුතු සියලු පාර්ශව එක්වී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීම සඳහා කැපවිය යුතු අතර ඒ වෙනුවෙන් උපරිම මැදිහත් වීම සහ සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අඛණ්ඩව කැප වී සිටින බව යලිත් අවධාරණය කරමු.