ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සියලුදෙනා එක්ව ප්‍රතික්ෂේප කළ යුතුයි

ආයෝජන ප්‍රවර්ධනය සඳහා යැයි සේවක අයිතීන්ට හා ජීවිත සුරක්ෂාවට තර්ජනයක් වන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහමුලින් ප්‍රතික්ෂේප කරන ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, “ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැළසීම සඳහා” යැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කරමින් ශ්‍රී ලංකා ආර්ථික කොමිසන් සභාවක් සමග තවත් අනු ආයතන සතරක් පිහිටුවීම වෙනුවෙන් “ආර්ථික පරිවර්තන” පනත් කෙටුම්පතක් ඉකුත් මැයි 10 වන දිනැති ගැසට් පත මගින් මැයි 14 වන දින නිකුත් කර ඇත.

මෙම කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ජනාධිපති රනිල්  වික්‍රමසිංහ විසින් ඉකුත් මාර්තු 21 වන දින ඉදිරිපත් කරනු ලැබ, ඇමති මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූවකි.

ආරම්භයේදීම කිව යුත්තේ මෙවැනි බරපතල රාජ්‍ය ව්‍යුහ වෙනස් කිරීමේ සදාචාරමය අයිතියක් මේ ආණ්ඩුවට නොමැති බවය. මේ සංශෝධන සඳහා යම් හෝ සදාචාරමය අවසරයක් ලබා ගැනීමට කළ යුතුව තිබූයේ මෙහි ප්‍රධාන දෙපාර්ශවය වන ව්‍යාපාරිකයින් සහ සේවකයින් සමග සාකච්ඡාමය ප්‍රවේශයක් තහවුරු කර ගැනීමය. එයද මේ ආණ්ඩුව මග හැරියකි. එහෙත් මෙම පනත් කෙටුම්පත සඳහාවූ පාදක ලියැවිල්ල සැකසූ ජනාධිපති පත් කළ කමිටුවෙහි ව්‍යාපාරික නියෝජනය අඩු නැතිව තිබුණකි.

මේ සදාචාර විරෝධී ආණ්ඩුවේ තීන්දුවෙන් ඉවත්කර ඇත්තේ ප්‍රධාන ශ්‍රමික පාර්ශවයට අයත් ලක්ෂ 30 ට ආසන්න පෞද්ගලික හා අර්ධ රාජ්‍ය සේවා ක්ෂේත්‍රයන්හි සේවක ජනතාව ය. මේ යෝජිත පනත සෘජුව බලපාන්නේද ඔවුන්ට සහ ඔවුන්ගෙන් යැපෙන තවත් ලක්ෂ 120 ක පමණ පුරවැසි සංඛ්‍යාවකටය. මේ ආණ්ඩුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මුතිගත කෙරුණු සේවක පාර්ශවය හවුල් කර ගන්නා සාකච්ඡාමය ක්‍රියාවලිය සහමුලින් අත හැර දැමූ ආණ්ඩුවකි. මාසිකව රැස්විය යුතු ජාතික කම්කරු උපදේශක සභාව ජනාධිපතිගේද අනුමැතිය ඇතිව පසුගිය වසරේ සැප්තැම්බරයේ සිට මාස 08 ක කාලයක් අක්‍රීයකර තැබුණකි.

ආණ්ඩුවේ කම්කරු විරෝධී දේශපාලනය සමග මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ජාවාරම්කාර ආයෝජකයින් සඳහා ලබාදී ඇති අශිෂ්ට නිදහස තව දුරටත් පුළුල් කරමින් තහවුරු කිරීමටය. සේවක අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ආයෝජක ලාභය සඳහා නිදහස් වෙළඳ කලාප සහිත විශාල නිදහස් වපසරියක් හැදූ ආයෝජන මණ්ඩලය යටතේ මෙරටට ගෙන්වා ගත් ජාවාරම්කාර ආයෝජන සමග මේ නිදහස් වෙළඳපල ආර්ථිකය බහුතර ජන ජීවිතයට එකතු කළ වැදගත් දියුණුවක් නැත. එවැනි ජාවාරම්කාර ආයෝජන සඳහා ආයෝජන මණ්ඩලයේ සීමාවන්ද ඉවත් කරමින් නිදහස් වෙළඳ කලාප පවා පෞද්ගලීකරණය කිරීමේ නීතිමය ඉඩ ලබා දෙන මෙම පනත මගින් ඉදිරියේදී කම්කරු දෙපාර්තමේන්තුව පවා අකර්මණ්‍ය රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමේ විභවයක් ඇත.

මේ පනත මගින් ආණ්ඩුව තහවුරු කරන්නේ ජාවාරම්කාර ආයෝජකයින් සඳහා රාජ්‍ය ව්‍යාපාර පමණක් නොව, ජාතික සම්පත්ද බෙදා දීමේ ප්‍රතිපත්ති සහ නෛතික සීමා ලිහා දැමිය හැකි බලයක් සහිත අලුත් රාජ්‍ය යාන්ත්‍රණයකි. එය ජාවාරම්කාර වුවමනාවන් නියෝජනය කරන දූෂිත, බලහත්කාර ආණ්ඩු පාලනයක්ද ස්ථාපිත කිරීමේ දේශපාලන තීන්දුවකි.

එනිසා අප සියලු වෘත්තීය සමිති හා ජනතා සංවිධාන වෙතින් ඉල්ලා සිටින්නේ මෙම පනත් කෙටුම්පතට එරෙහි පූළුල් ජනතා ව්‍යාපාරයක් සඳහා වහා තීන්දු ගන්නා ලෙසත් මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමාජය හමුවේ විවෘතව වහා පෙනී සිටිය යුතු යැයිද කියා ය.