වතු කම්කරු වැටුපේ ගැසට් නිවේදනය එයි-නොගෙව්වොත් බදු ගිවිසුම අවලංගුයි

වතු කම්කරු වැටුපේ ගැසට් නිවේදනය එයි-නොගෙව්වොත් බදු ගිවිසුම අවලංගුයි

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවන බවට ප්‍රකාශය, මැයි දිනයදා ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවේ. 

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීමක් මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත් කළ ද, ඇතැම් වතු සමාගම් විසින් එම වැඩි කරන ලද වැටුප ගෙවිය නොහැකි බවට රජය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පියවර තුනක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.

එහි පළමුවැන්න නම් මුදල් ආර්ථික ස්ථායීකරණ  සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් වර්තමාන ජීවන වියදම සහ මෑත දී ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම් සැලකිල්ලට ගනිමින් වතු කම්කරුවකු වෙත ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කිරීමයි.

දෙවැන්න, එලෙස ඇස්තමේන්තු ගත කරන ලද වැටුප ගෙවීම සම්බන්ධයෙන් එක් එක් වතු සමාගම සතුව පවතින හැකියාව පරීක්ෂා කර බැලීම පිණිස කමිටුවක් පත් කිරීමයි.

කිසියම් වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප් ගෙවීමට අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම එම යෝජනා වන්හි තුන්වැන්නයි.