රොෂේන් චානක: කම්කරුවන් වෙනුවෙන් දිවි දුන් පුතුට යුක්තිය සොයන මවගේ ඉල්ලීම

රොෂේන් චානක: කම්කරුවන් වෙනුවෙන් දිවි දුන් පුතුට යුක්තිය සොයන මවගේ ඉල්ලීම

මීට වසර දහතුනකට පෙර අදවන් දිනක කටුනායක නිදහස වෙළඳ කලාප වැඩ බිම අරගල භූමියක් බවට පත් වුයේ එවක ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය විසින් සේවක අර්ථසාධක අරමුදල කප්පාදු කර, විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට ගෙන එන ලද යෝජනාවට එරෙහිව ය.

එම යෝජනාව “අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ගන්නා උත්සාහයක්” ලෙස චෝදනා කරමින් දින කිහිපයක් තිස්සේ රට පුරා කම්කරුවන් විරෝධය දැක්වු අතර පැවති විරෝධයන්ට රජය පාර්ශවයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් 2011 මැයි මස 30 වැනිදා රජයට එරෙහි විරෝධය තීව්‍ර කරමින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයන් වැඩ වරමින් වීදී සටනක් ආරම්භ කළහ.

නිරායුධ කම්කරුවන්ගේ එම විරෝධතාවට පොලිසිය විසින් වෙඩි තැබූ අතර කම්කරුවන් 400ක් පමණ එහිදී තුවාල සිදු විය.

එම සටන්කරුවන් අතර සිටි රොෂේන් ශානක නිදහස් වෙළඳ කලාප සේවයට ගොස් ගතව තිබුණේ හාර මාසයක් පමණි.

එදින වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ ඔහු දෙදිනකට පසුව මිය ගිය අතර පසුව රජය තම විශ්‍රාම වැටුප් යෝජනාව හකුලා ගත්තේය.

'එදා අක්කගෙන් රුපියල් 100 ඉල්ලගෙන තමයි වැඩට ගියේ'

තම ජිවිතයෙන් වන්දි ගෙවමින් ලක්ෂ ගණනක් වු පුද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධකය බේරා දුන් රොෂේන් ශානකගේ ඝාතනයෙන් දහතුන් වසරකට පසුව බීබීසි සිංහල සේවයේ අපි රොෂේන් ජිවත් වු ඔහුගේ මව හා පියා වෙසෙන මිනුවන්ගොඩ නිවස බලා ගියෙමු.

“මට දැන් මෙහෙ කවුරුත් නෑ. හිටියා නම් මෙහෙ ඉන්නවනේ මගේ දරුවා මාව බලා ගන්න හරි.” රත් පැහැ ගැන්වුණු දෙනෙතින් දෙකම්බුල් තෙත් කරමින් ඇයගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුණි.

රොෂේන් දිවි ගෙවු නිවසේ අද සිටිනේ ඔහුගේ මව වන ස්වර්ණා කාන්ති සහ රොෂේන් ගේ පියා පමණි. රොෂේන්ගේ සහෝදරයින් දෙදෙනෙකු විදේශ ගතව ඇති අතර සහෝදරිය විවාහ වී අසල නිවසක දිවි ගෙවයි.

“එදා අක්කාගෙන් රුපියල් 100 ඉල්ලගෙන තමයි වැඩට ගියේ. ගිහිල්ලා හවස 2.30ට විතර අපිට පණිවිඩයක් ආවා වෙඩි වැදිලා කියලා. මම බැලුවා වෙඩි වදින්න වරදක් කරපු දරුවක් නෙමෙයිනේ. ඒක ආරංචි වුන ගමන් අපි රාගම ඉස්පිරිතාලෙට ගියා. එහෙන් කිව්වා එයාව තියටර් එකට අරගෙන තියෙන්නේ තව වෙලා යනවා කියලා බලන්න දෙන්න. එදා අපි රෑ එළි වෙනකම් හිටියා රාගම ඉස්පිරිතාලෙට වෙලා. එයා බලන්න දුන්නේ නැහැ කාටවත්. පස්සේ ICU දාලා තිබුණා, අපිට එකේ දොරේ පොඩි රවුමෙන් බලන්න දුන්නා.”

ඒ රොෂේන් නිවසින් ගිය අවසන් දවස ගැන ඇයගේ මතකයි. වෙඩි වැදී බරපතල ලෙස තුවාල ලබා සිටි ඔහු ඉන් දෙදිනකට පසු රෝහලේ දී මිය ගියේය.

'අපිත් බය වුණා ඒ කාලේ සුදු වෑන් තිබුණානේ'

රොෂේන් ඝාතනයෙන් පසුව එවක රජයේ මැති ඇමැතිවරුන් මැදිහත් වී ඔහුගේ අවසන් කටයුතු සිදුකළ කළ අතර ඊට වෙනත් පාර්ශවයකට මැදිහත් විය නොහැකි පරිදි අධිකරණ නියෝග ද ලබා ගෙන තිබුණී.

“අපිත් බය වුනා ඒ කාලේ සුදු වෑන් තිබුණානේ. අපේ අනිත් දරුවන්ටත් කරදරයක් වුනොත් කියලා මට හිතුණා. ඉතින් අපි ඒගොල්ලන්ටම ඉඩ දලා නිකං හිටියා.”

නිදහස් වෙළඳ කලාප සේවකයන්ට මුදා හරින ලද පොලිස් ප්‍රහාරයේ වගකිම බාර ගෙන ඉල්ලා අස් වූ එවක පොලිස්පති මහින්ද බාලසූරිය බ්‍රසීලයේ තානාපති තනතුරට පත්කර යැවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන් අනතුරුව ඔහු නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද පත්කරන ලදී.

'මගෙන් ඇහුවා වාර්තාව ඕනේම ද, ඒකේ කොළ දෙකයි, තුනයි තියෙන්නේ කියලා'

කටුනායක කම්කරු ඝාතනය හා පහරදීම සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොමිසමක් පත්කරනු ලැබූ නමුත් එම කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ නොකළ අතර එය ලබා ගැනීමට ද රොෂේන්ගේ මවට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.

හය වසරකට පසු පරීක්ෂණයේ තොරතුරු ඇතුළත් මහානාම තිලකරත්න වාර්තාව යහපාලන රජයට ලබා දීමට සිදුවන්නේ රොෂේන්ගේ මව විසින් තොරතුරු දැන ගැනිමේ පනත අනුව කරන ලද ඉල්ලීමකට ය.

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම වාර්තාව ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර තොරතුරු දැන ගැනිමේ කොමිසමට කරන ලද පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස එම වාර්තාව ලබා ගැනීමට හැකිව ඇත.

“වාර්තාව අපිට ලැබුණේ අවුරුදු 6කට පස්සේ. ජනාධිපති කාර්යාලයට ගියා, ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා, ගිහිල්ලා, ගිහිල්ලා තමයි වාර්තාව ගත්තේ. මගෙන් ඇහුව වාර්තාව ඕනේම ද, ඒකේ කොළ දෙකයි, තුනයි තියෙන්නේ කියලා. මම කිව්වා මට ඕනේ කියලා ඒක. තවමත් ඒ වාර්තාවේ තියෙන කිසිම නිර්දේශයක් ක්‍රියාත්මක වෙලා නැහැ.”

“කොමිසම් පත් කළාට වැඩක් ඇති කොමිසම් නෙමේ ඕවා. හොරුන්ගේ ඒවාම හොරුමයි.” හය වසරකට පසුව සියතට ලැබුණු වාර්තාවේ නිර්දේශ මේතාක් ක්‍රියාත්මක නොවීම ගැන ඇයගේ වේදනාව එලෙස ප්‍රකාශ විය.

රතුපස්වල සහ හලාවත ඇන්ටනී

තම පුතු ඝාතනයට එවක රජයෙන්, පොලිසියෙන් හා කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් සුළු වන්දියක් ලැබී ඇතත් ඇය දහතුන් වසරක් නොලද යුක්තිය ඉල්ලා තවමත් හඬ නඟමින් සිටියි.

“මගේ දරුවෙක් විතර නෙමෙයි, රතුපස්වල සිද්ධියට, හලාවත ඇන්ටනී ඒ අයටත් සාධාරණයක් වෙන්න ඕනේ.” එවකට රාජපක්ෂ පාලන සමයේ දකුණේ සිදු වු ප්‍රධානතම සිවිල් ඝාතනවලට ඇය එලෙස ඉල්ලා සිටින්නේ යුක්තියයි.

රතුපස්වල් සිද්ධියට අදාළව චෝදනා නඟා තිබු හමුදා නිලධාරින් පසුගිය දිනක නිදොස් කොට නිදහස් කළ අතර රොෂේන්ගේ ඝාතනය වෙනුවෙන් එවක දී සීදුව හා කටුනායක පොලිසියේ ඉහළ නිලධාරින් දෙනෙකුට චෝදනා එල්ල වී තිබු අතර ඔවුන් ද එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

රොෂේන් වෙනුවෙන් මවගේ ඉල්ලීම

“මගේ දරුවා ගැන මම සතුටු වෙනවා. මෙහෙම දෙයක් වෙලා හරි පුද්ගලික අංශය අර්ථසාධකය ලැබෙන හින්දා. මගේ පුතා වීරයෙක් වගේ ඒ වෙලාවේ නැති වුණේ. නැත්නම් අදටත් ඕවා හම්බ වෙන්නේ නැහැ.”

“සමහරුන්ට මතක තියෙනවා, දැන් අලුතෙන් එන අයට මතක නැතුව ඇති. EPF එකක් ගත්තත් මතක නැතුව ඇති. මම කියන්නේ මගේ පුතා හින්දයි ඒ ඔක්කොටම ඒ දේවල් ලැබුණේ . EPF එක ETF එක වගේ හැමදෙයක්ම. ඉතින් ඒ වෙනුවෙන් මම කියන්නේ EPF ගත්තොත් බෞද්ධ කෙනෙක් නම් බෝධි පුජාවක් තියලා හරි, කතෝලික කෙනෙක් නම් පුජාවක් තියලා හරි, මගේ පුතා වෙනුවෙන් ඒ වගේ දෙයක් කරනවා නම් හොඳයි කියලා".

(bbc/Sinhala)