විධිමත් තාක්ෂණික අයගෙන් කමිටුවකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය CT යන්ත්‍ර 3ක් මිලදී ගැනීමට සැරසෙයි

විධිමත් තාක්ෂණික අයගෙන් කමිටුවකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය CT යන්ත්‍ර 3ක් මිලදී ගැනීමට සැරසෙයි

පහුගිය කාලය පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මිලදී ගැනීම් බොහොමයක බරපතල ගැටලුකාරී තත්ත්වයන් තිබූ බව වෘත්තිකයන් වශයෙන් අප පෙන්වා දෙන ලදී. එම සිදුකළ මිලදී ගැනීම් වල යන්ත්‍ර සූත්‍ර, රසායන ද්‍රව්‍ය ආදී දේවල් අවශ්‍යතාවයට නොගැලපෙන සහ රටේ මුදල් නාස්ති කරන ආකාරයේ ඒවා වූ අවස්ථා විශාල ප්‍රමාණයක් තිබිණි.

මෙම කාරණාවන් අප දිගින් දිගට පෙන්වා දුන් විට දැනට සිටින සෞඛ්‍ය ලේකම්වරයා අදාළ තාක්ෂණික ඇගයීම් කමිටුවට අනිවාර්යයෙන්ම විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු සම්බන්ධ කර ගන්නා ලෙස නැවතත් චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ තුන්වන චක්‍රලේඛ චක්‍රලේඛයයි.. මීට පෙර අවස්ථා දෙකකදී එවකට සිටි සෞඛ්‍ය ලේකම්වරුන් විසින් ද  මේ පිලිබන්දව  චක්‍ර ලේඛ නිකුත් කර ඇත.

කෙසේ නමුත් මේ වන විට නාවලපිටිය, දඹුල්ල , කුලියාපිටිය රෝහල් තුන සඳහා CT යන්ත්‍ර 3ක් මිලදී ගැනීමට දෙවන වරපත් කළ තාක්ෂණික ඇගයීම් කමිටුවේදී අදාල විකිරණ තාක්ෂණවේදී නිලධාරියා ඉවත්කොට ඇත. මුල් අවස්ථාවේ පත්කළ කමිටුවට විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු සම්බන්ධ කර තිබුණද දෙවන වර නැවත  පත්කළ කමිටුවේ අදාල නිලධාරියා ඉවත් කළේ කාගේ වුවමනාවකටදැයි ප්‍රශ්න සහගත වෙයි.

මෙම මිලදීගන්නා එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් කෝටි 20 කට අධික වේ.

රෝහලක පරීක්ෂණ සේවා ඉටු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන පිරිවිතරයන්ගෙන් යුක්ත යන්ත්‍රයක් මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම එහි අවසාන භාවිතාකරුවන විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන අතර එසේ සිදු නොවන අවස්ථාවල මේ නාස්ති කරන්නට සැරසෙන්නේ රටේ ජනතාවගේ බදු මුදල් විශේෂයෙන්ම පෙන්වා දෙයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් පියවර ගත යුතු බව අවධාරණය කර සිටින අතර එසේ නොවන්නේ නම් මේ සෞඛ්‍ය සේවාවේ සිදුවන දූෂණයන් වැළැක්වීම තවදුරටත් සිහිනයක් වනු ඇත.

චානක ධර්මවික්‍රම

සභාපති

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය