වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රවර්ධනය උදෙසා වැඩසටහන ආරම්භ කරයි

වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රවර්ධනය උදෙසා වැඩසටහන ආරම්භ කරයි

දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය දර්ශක පිළිබද අවධානය යොමු කර වසර 30ක් ප්‍රතිසංස්කරණයක් සිදු නොවූ මෙරට සෞඛ්‍ය සේවාව ප්‍රතිසංස්කරණයට යා යුතු හොදම වේලාව මෙය බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.

වතු ක්ෂේත්‍ර‌යේ සෞඛ්‍ය ආරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන “Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය  (12) දින කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැත්විනි

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදෙන වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සදහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් සංවිධානය කෙරේ. මෙහිදී වතු ජනතාවගේ සෞඛ්‍ය ගැටළු හදුනාගෙන  කායික, මානසික, සාමාජීය, අධ්‍යාත්මික සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රවර්ධනය ඉහළ නංවමින් ඔවුන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කර නීරෝගීමත් ජනතාවක් ලෙස බලගැන්වීම මෙම වැඩසටහනේ  ප්‍රධාන අරමුණ වේ.

කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණේ එම “සතුටු වතු” වැඩසටහනේ සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාල පළමු අදියරයි. දිවයින පුරා වතු 460 ක් පමණ වන අතර,  මෙම වැඩසටහනේ පළමු අදියර සදහා වතු 45 ක් තෝරාගෙන ඇති අතර, ඉන් වතු 07 ක්ම පිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේය. මෙරට පළාත් 05 ක, දිස්ත්‍රික්ක 11 ක  මුළු ජනගහනයෙන් සියයට 05 ක පමණ ජනගහනයක් එනම් මිලියනයක පමණ ජනගහනයක් වතු ආශ්‍රිතව ජීවත් වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ අද දින ආරම්භ කළ මෙම නව වැඩසටහනට අනුව මාස 06 ක් ඇතුලත සියළු වතුවල පවතින තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වනු ඇති බවයි. නියමු ව්‍යාපෘතිය යටතේ මෙම වසර් වතු 45 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, ලබන වසරේ 400 ක් පමණ වන සියළු වතු ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ද පැවසීය. වතු සෞඛ්‍ය ද අනෙකුත් සෞඛ්‍ය පද්ධති මට්ටමට ගෙන ආ යුතු බව ද මෙම පරිවර්ථනය අපි කළ යුතුම දෙයක් බව ද පැවසීය. වතු ක්ෂේත්‍රයේ වැඩිපුරම මුඛ පිළිකා වාර්තා වන බවත්, ආසියානු කළාපයේ වැඩියෙන්ම වැඩිහිටි ජනගහනය වැඩි වන රට ශ්‍රී ලංකාව බවත් ඊට හේතුව හොද සෞඛ්‍ය සේවාවක් පැවැතීම බව ද පැවසීය.

මෙරට සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ අවස්ථා 02 දී සිදු වූ බවත්, මෙම ප්‍රතිසංස්කරණ සමග මෙරට සෞඛ්‍ය සේවාවේ දිවිතියික සෞඛ්‍ය අංශයේ විශාල පරිවර්ථනයක් සිදු වූ බව ද පැවසීය. දැන් වසර 30 ක් පමණ සෞඛ්‍ය සේවාවේ විශාල ප්‍රතිසංස්කරණයක් සිදු නොවුන බවත්, සෞඛ්‍ය දර්ශක එක තැන පැවැතිම හා ඉහළයාම දැකිය හැකි බව ද මරණ අනුපාත, බෝනොවන, පිළිකා  රෝග, මාර්ග අනතුරු, වැඩිහිටි ජනගහනය, මානසික ආතතිය  ඉහළ යන බව ද මේ සදහා විශේෂ සෞඛ්‍ය සේවා අවශ්‍ය වන බව ද පැවසීය. මෙරට පුනරුත්ථාපන සේවාව දියුණු කළ යුතු බවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රතිසංස්කරණයකට යා යුතු හොදම වෙලාව මෙය වන බව ද පැවසීය. දැනට ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇති බව ද පැවසීය.

මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ රෝග නිවාරණ අංශයේ විශේෂ චරිත 03 ක් වන බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම පිරිස බවත්, ඔවුන් රෝග නිවාරණ අංශය ශක්තිමත් කරමින් ඉහළ සෞඛ්‍ය දර්ශක කරා ගමන් කිරිමට විශාල දායකත්වයක් ලබාදෙන පිරිසක් බව ද පැවසීය. 

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර, කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී. නිදර්ශිනී පෙරියසාමි,  මානව වැවිලි සංවර්ධන බාරයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ (PHTD) වෛද්‍ය සරත් අමුණුගම, වතු හා නාගරික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සී.කේ ගුණරත්න, කෑගල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය උපදේශක වෛද්‍ය දිලිනි රූපනන්ද, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය නියෝජනය කරමින් නිලධාරීන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.