බැංකු සේවක සාමූහික ගිවිසුම් කප්පාදුවට එරෙහිව විරෝධතා

බැංකු සේවක සාමූහික ගිවිසුම් කප්පාදුවට එරෙහිව විරෝධතා

රාජ්‍ය බැංකු කළමනාකාරීත්වයන් සහ අධ්‍යක්ෂ මණ්ඩල ලංකා බැංකු සේවක සංගමය සමගින් එකඟතාවට පැමිණි බැංකු සේවක සාමූහික ගිවිසුම් කප්පාදු කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බවත්, යම් හෙයකින් සාධාරණ සේවක ඉල්ලීම් වලට අනුකූලතාවයක් නොදක්වන්නේ නම් ලංකා බැංකු සේවක සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එසම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රාජ්‍ය බැංකු කළමණාකාරීත්වයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවල එකඟතාවය හිමිවූ සාමූහික ගිවිසුම් යෝජනා අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස කප්පාදු කිරීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය විසින් සංවිධානය කරන ලද සාමාජික රැස්වීම් මාලාවක් 2024-06-10 වැනි දින ලංකා බැංකුව , මහජන බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සේවක සේවිකාවන්ගේ ද සහභාගීත්වයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රධාන කාර්යාල ඉදිරිපිටදී පැවැත්විණි.

වෘත්තිය සමිති භේදයකින් තොරව අසාධාරණ වැටුප් කප්පාදුවට එරෙහි  සහෝදර සහෝදරියන් අතිවිශාල පිරිසක් එම රැස්වීමට සහභාගීවීම ඉදිරි ක්‍රියාමාර්ගයන්හී සාර්ථකත්වය සම්බන්ධයෙන් අනාවැකි පළකරන ලද සුවිශේෂී කරුණක් විය.

බැංකු සේවක සාමූහික ගිවිසුම අත්සන් තබනුයේ වසර තුනකට වරක් වන අතර පසුගිය වසර තුන තුළ දරාගත නොහැකි ජීවන බරකින් පමණක් නොව උපයන විට බදු පැනවීමෙන් දරාගත නොහැකි බදු බරකින්ද බැංකු සේවක ප්‍රජාව මෙන්ම සමස්ත මහජනතාවම පීඩාවට පත්ව සිටී.

එවන් පසුබිමක රාජ්‍ය බැංකු කළමනාකාරීත්වයන් සහ අධ්‍යක්ෂ මණ්ඩල ලංකා බැංකු සේවක සංගමය සමගින් එකඟතාවට පැමිණි බැංකු සේවක සාමූහික ගිවිසුම් කප්පාදු කිරීම කිසිසේත්ම සාධාරණ නොවන අතර සංගමය ලෙස අප එයට කොන්දේසි විරහිතව එරෙහි වෙමු. යම් හෙයකින් මෙම අතිශයින් සාධාරණ සේවක ඉල්ලීම් වලට අනුකූලතාවයක් නොදක්වන්නේ නම් ලංකා බැංකු සේවක සංගමය නොපැකිලව ඉදිරි ක්‍රියාමාර්ග වලට එළඹෙන බව වගකිවයුතු පාර්ශවයන් වෙත දැඩි ලෙස අවධාරණය කරමු.

නමුත් සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද එම බලපෑමට ආණ්ඩුවේ අදාළ බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ නොවීමත් සමග ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සංගමය තීන්දු කරන ලදී. ඒ අනුව 2024-06-13 දින සිට 18 දින දක්වා විරෝධතා පිකට් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටත් 2024-06-19 දින සංගමයේ මධ්‍යම කාරක සභාව කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග තීනදුු කිරීමටත් සංගමය තීරණය කර ඇත.

සංගමයේ විරෝධය පිකට් උද්ඝෝෂණ මාලාව

2024-06-13 දින          ප ව 12.30 ට    ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට

2024-06-14 දින          ප ව 12.30 ට    ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට

                                    (ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සේවක සහභාගීත්වයෙන්)

2024-06-18 දින          ප ව 12.30 ට    මහජන බැංකුව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට