කොතලාවල ආයතනය ආරක්ෂක අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයක් යොදා කරුණු වසන් කිරීමට නිදහස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරු අප්‍රසාදය පළකරයි

කොතලාවල ආයතනය ආරක්ෂක අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයක් යොදා කරුණු වසන් කිරීමට නිදහස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරු අප්‍රසාදය පළකරයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ කොතලාවල ආයතනය මගින් 2024 ජූනි මස 08 දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවිය. එම නිවේදනය හරහා කරුණු වසන්කරමින් සහ විකෘති කරමින් රටේ මහජනයා මුලා කිරීමේ උත්සාහය පිළිබඳ අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කර සිටින බව නිදහස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  

එම නිවේදනයේ සදහන් පහත කරුණු පිළිබඳව අපගේ අවධානය යොමු විය.

  •  කොතලාවල ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීමට අනුමැතිය ලබා ගැනීමේ කුමන්ත්‍රණය

එම නිවේදනය අනුව කොතලාවල ආයතනය තුළ 2009 වර්ෂයේ වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ කර ඇත. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ උසස් අධ්‍යාපන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත්තේ කෙලෙසකද යන්න ප්‍රශ්නකාරීය. මැර බලය, මිලිටරි බලය භාවිතා කරමින් ඒ අනුමැතිය ලබාගත් අයුරු හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධව පැමිණිල්ලක් දැනටමත් වෛද්‍ය සභාව වෙත යොමු කර ඇත.

  •  සිවිල් සිසුන් බඳවා ගැනීම

2017 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද විශේෂ විධිවිධාන පනතක් මගින් SAITM සිසුන් KDU හි වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කරන ලදී. KDU හි වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගත් ප්‍රථම අවස්ථාව එය වූ අතර එය SAITM අහෝසි කිරීමේදී එම සිසුන්ට පමණක් ලබා දුන් එක්වරක් ක්‍රියාත්මක කළයුතු විසඳුමක් විය. නමුත් මාධ්‍ය නිවේදනය අනුව 2022දී  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් KDU වෛද්‍ය පීඨය සඳහා තවත් සිවිල් සිසුන් බඳවාගෙන ඇති අතර එම සිසුන් දැනට අධ්‍යයන කටයුතුවල නියැළෙමින් සිටිති. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ KDU ආයතනය විශ්වවිද්‍යාලයක් නොවන බැවින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා එසේ සිසුන් බඳවා ගැනීමට බලයක් නොමැත. එසේම  1981 අංක 68 දරන කොතලාවල ඇකඩමි පනත යටතේ ,  KDU ආයතනයට සිවිල් සිසුන් බඳවා ගැනීමට  ප්‍රතිපාදන නොමැත. එබැවින් UGC සහ KDU කළමනාකරණ මණ්ඩලය යන දෙකම ඔවුන්ට ලබා දී ඇති නීතිමය බලතල ඉක්මවා ක්‍රියා කර ඇති බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු  ඉදිරිපත් කිරිම දැනටමත් සිදුවෙමින් පවතී.

  • කොතලාවල ආයතනය විසින් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට භාවිතා කරන රාජ්‍ය සම්පත්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරමුදල් සපයන තමන්ගේම විශ්ව විද්‍යාල රෝහලක් ඇති ශ්‍රී ලංකාවේ එකම ආයතනය  KDU වේ. ජාතික විගණන කාර්යාලයේ මූලාශ්‍රවලට අනුව, KDU විශ්ව විද්‍යාල රෝහල (UHKDU) ඇඳන් 814 කින් සමන්විත රෝහලක් වන අතර එය අති නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද්දේ රු.මිලියන 3,000 ක භාණ්ඩාගාර ඇපකර මත සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 177ක ණය මුදලක් මගිනි. මෙලෙස ලබා ගත් ණය පියවීම සඳහා KDU මගින් වෛද්‍ය උපාධි මුදලට පිරිනැමීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පැහැදිලිය. එසේම මෙම මාධ්‍ය නිවේදනයට අනුව කැඩෙට් නිලධාරීන් සඳහා පුහුණුව ලබාදීමෙන් අනතුරුව විශාල සම්පත් ප්‍රමාණයක් KDUහි ඉතිරිව පවතී. රාජ්‍ය වෛද්‍ය පීඨ තුළ අවම පහසුකම් ප්‍රමාණයක් පවතින විටදී KDU සතුව අතිරික්තයක් පැවතීමත්, එම සම්පත් මුදල් වියදම් කල හැකි සීමිත පිරිසකට පමණක් භාවිතා කිරීමට ලැබීමත් සමාජ සම්මුතියට පටහැනිය.

  •  මුදල් ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ප්‍රවේශය, කුසලතාව මත පමණක් පදනම් වු සාධාරණ ක්‍රමවේදයකට   ක්‍රියාත්මක වෙමින් පැවතුනි.  KDU ආයතනය මගින් රුපියල් මිලියන 12.5කට වෛද්‍ය අධ්‍යාපනය මිලට ගැනීමේ අවස්ථාවක් නිර්මාණය කිරීම මගින් රටේ ඉතා සුළුතරයක් වන වරප්‍රසාද ලත් සමාජ පන්තියකට පමණක් වෛද්‍ය අධ්‍යාපනය සීමා කිරීමට උත්සාහ දරමින් ඇත. මෙය, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් අධ්‍යාපනය ලැබීමේදී කුසලතාවය සැලකිය යුතුය යන මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි.

  • KDU සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා

මීට පෙරද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බඳවාගැනීමේදී  මිලිටරි අනුග්‍රහය, ඥාති සංග්‍රහය, පෞද්ගලික සම්බන්ධතාවල බලපෑම් හා දේශපාලන බලපෑම් ක්‍රියත්මක වීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වී තිබේ. ශිෂ්‍ය ලියාපදිංචිය කළමනාකාරීත්ව මණ්ඩලයේ තනි අධිකාරිය යටතේ ක්‍රියාත්මක වේ. එය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ හමුදා නීති යටතේ ක්‍රියාත්මක වන බැවින් සාමාන්‍ය සිවිල් නීතිය යටතේ කිසිදු වගවීමක් නොමැත. 2024 අප්‍රේල් මස පළ කළ නිවේදනයක් මගින් KDU ආයතනය තුළ මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි ලබා ගැනීමේ අවස්ථාවන් ඇති බව ප්‍රචාරණය කෙරිණි. එහි බඳවාගැනීමේ සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් අනුමත නොකරන කේම්බ්‍රිජ් ,එඩෙක්සෙල් විභාග ප්‍රතිඵලද සුදුසුකමක් ලෙස සලකා තිබුනි. එසේම වෛද්‍ය අධ්‍යාපනය සඳහා කිසිසේත්ම සුදුසුකමක් නොවන අවිවාහක වීම, වයස් සීමාවන් ආදී කරුණුද දක්වා තිබුණි.

KDU ආයතනය මැයි 5 වන දිනට පසුව අයදුම්කරුවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබූ අතර එහි දේශීය A/L අයදුම්කරුවන් 856 දෙනෙකු ඇතුලත් විය. ඔවුන්ගෙන් සිසුන් 242 දෙනෙකු යෝග්‍යතා පරීක්ෂණයක් සඳහා KDU ආයතනය  විසින් තෝරාගෙන ඇත. මෙම තේරීම සඳහා z ලකුණු නිර්ණායක ලෙස සැලකූ බව KDU ආයතනය පවසන නමුත් නොදන්නා හේතුන් මත ඉහළ z ලකුණු ඇති  සිසුන් 11 දෙනෙකු ප්‍රතික්ෂේප කර ඇත.

එසේම මෙම මාධ්‍ය නිවේදනයේ පවසන පරිදි,  UGC මගින් වෛද්‍ය උපාධිය හැදැරීම  සඳහා අවශ්‍ය  අවම Z අගයක් නිකුත් කරනු නොලැබේ.

මුළු ප්‍රවේශ ගණනින් 5%ක් වන  දුශ්කර දිස්ත්‍රික්කයන්ට ලබාදෙන ප්‍රවේශ අවස්ථාව අනුව රාජ්‍ය වෛද්‍ය පීඨයකට පිවිසෙන අවසන් සිසුවාගේ  z අගය, මෙහි අවම සුදුසුකම ලෙස සඳහන් කරමින්  යොදාගෙන ඇති බව පෙනේ. එලෙස දුශ්කර දිස්ත්‍රික්ක වල සිසුන් ඉතා සුලු පිරිසක් ඇතුළත් වූ Z  අගය කඩයිම් ලකුණක් ලෙස යොදාගැනීම මෙන්ම වසරින් වසර z අගයන් වෙනස් වන පසුබිමක 2021 වසරේ අගයන් 2023 වසරේ ප්‍රවේශය සඳහා යොදාගැනීම ද ඉතා ප්‍රශ්නකාරී වේ.

  • පාරදෘශ්‍ය නොවන බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ

එම නිවේදනයේ පවසන පරිදි KDU ආයතනය මගින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයකින්ද මෙම සිසුන් සමත්ව ඇත. එහි ලකුණු 100න් 90ක්ම ලබාදී ඇත්තේ ප්‍රවේශය සඳහා මුලදී  සලකා බැලූ උසස් පෙළ ප්‍රතිඵල සඳහාය. ලකුණු 10ක් ලබාදී ඇත්තේ ක්‍රීඩා ක්‍රියාකාරකම් ආදිය වෙනුවෙනි. එක්වරක් සලකා බැලූ කරුණු නැවත  සලකා බැලීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම මෙන්ම  සිවිල් සිසුන් වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීමේ සුදුසුකමක් ලෙස ක්‍රීඩා හැකියාවන්  සැලකීම  වැනි අර්ථශුන්‍ය ක්‍රමවේද භාවිතය, මෙම බඳවා ගැනීමේ ක්‍රමවේදයෙහි  සැබෑ අරමුණ පිළිබඳව ගැටලුවක්  මතුකරයි. අපේක්ෂකයින්  තෝරා ගැනීමේ  සම්මුඛ  පරීක්‍ෂණ සඳහා  නිරික්‍ෂකයින් ලෙස  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන්  සම්බන්ධවූ බව එම නිවේදනයේ දක්වා තිබුනද පසුව දැනගැනීමට ලැබුනේ එලෙස නිරීක්ෂකයන් සම්බන්ධ නොවූ බවයි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින්, ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් තුළින් නිදහස් අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමේ වෑයම අපි දැඩිලෙස හෙළා දකිමු.

මෙවැනි මුලාකිරීම් වලට නොරැවටී නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පෙරට එන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.