දන්ත වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි ලබාදෙයි

දන්ත වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි ලබාදෙයි

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම (18) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යංශ ශ්‍රවණාගාරයේ දී  සිදු කෙරිණි .

මෙම වෛද්‍ය උපාධිධාරීන් මෙරට හා විදේශීය විශ්ව විද්‍යාලය වල වෛද්‍ය පීඨයන්හි උපාධි අධ්‍යාපනය හැදෑරුවන් වන අතර දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන්,  පලපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වසර 01 ක කාලයක පුහුණුවක් ලැබීමට නියමිතය.

සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිලධාරීන් දන්ත වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතු අතර, මෙම පුහුණුලාභීන් සදහා මාසිකව රුපියල් 66,725/= ක  සීමාවාසික පුහුණු දීමනාවක්  සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දෙනු ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ .......

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව විධිමත්ව,කාර්යක්ෂමව, ගුණාත්මකව ඉදිරියට පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතුරුව කටයුතු කරන බවයි.

පසුගිය කොවිඩ් හා ආර්ථික  අර්බුදය හමුවේ සෞඛ්‍ය සේවාවේ  බදවා ගැනීම් යම් තරම්ක් දුරට ප්‍රමාද වූවත් වර්තමානය වන විට  එම තත්වය සාමාන්‍යකරණය වී ඇති බවද කීවේය.

මෙරට ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා දීමට අවශ්‍ය කාර්ය මණ්ඩල බදවා ගැනීම සිදුකරන අතරම රෝහල් නිරීක්ෂණය කරමින් ඒවායේ පවතින මානව හා භෞතික සම්පත් වල අඩුපාඩු හදුනාගනිමින් ඒවා විසදීමේ විශේෂ වැඩපිළිවෙලක්ද  තම අදහසකට අනූව සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති බවද පැවසීය.

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශිෂ්ඨ සේවාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා අඩු පිරිවැයකින් ගුණාත්මක සේවාවක් සපයන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිරිතුරුවම ශ්‍රී ලංකාව හදුන්වා දෙන බවද කීවේය.

මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් වල දන්ත විශේෂඥ වෛද්‍යවරුන් 86 ක් ද, දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1337 ක් ද සුව සේවාවව සදහා දායකත්වය දක්වනු ලබයි.

මෙම පත්වීම් ලිපි ලබා  දීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය තිළක් සිරිවර්ධන යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා විෂයට අදාල අංශයේ නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.