ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සම්පාදිත සංකල්ප පත්‍රිකාව එළිදැක්වීම අද (19) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සම්පාදිත සංකල්ප පත්‍රිකාව එළිදැක්වීම අද (19) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සම්පාදිත, ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනයේ අනාගත අභියෝග (Future Expansions of Medical Education in Sri Lanka - A Concept Paper by GMOA) නම් වූ සංකල්ප පත්‍රිකාව ප්‍රකාශනයක් ලෙස ජනගත කිරීම අද (19) දින පස්වරු 3.00ට  කොළඹ 07, ලක්ෂ්මන් කදීර්ගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපාය අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේදී එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මෙරට සෞඛ්‍ය සේවාවේ වර්ධනයට සාපේක්ෂව අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කිරීම වෙනුවෙන් ඉතිහාසය පුරා ශ්‍රී ලාංකීය වෛද්‍ය අධ්‍යාපනය පුළුල් වී ඇත්තේ වෛද්‍ය සිසුන්ට ලබා දෙන ප්‍රශස්ත සායනික සහ අධ්‍යාපනික පුහුණුවේ  උසස් ප්‍රමිතිය සහ ගුණාත්මක බව උසස් මට්ටමක පවත්වා ගනිමිනි.

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් කලින් කලට විවිධ යෝජනා, මතිමතාන්තර සහ ප්‍රවණතා සමාජ ගත වන ආකාරය අපි දැක ඇත්තෙමු. ඒ වෙනුවෙන් විවිධ කණ්ඩායම් පෙනී සිටිමින් ක්‍රියාත්මක වන ආකාරයද ඉතිහාසය නිරීක්ෂණයේදී දක්නට හැකිය.

එම යම් ප්‍රවණතාවයන් සහ තීරණ වෛද්‍ය අධ්‍යාපනයේ උන්නතියට දායක වී ඇති අතර, අහිතකර ප්‍රතිඵල අත්කරදුන් ව්‍යාපෘති  සහ වැඩසටහන්ද දක්නට ලැබුණි.

එහිදී අත්තනෝමතික තීන්දු තීරණ ලෙස පෞද්ගලික වෛද්‍ය පීඨ  පිහිටුවීම හරහා වෛද්‍ය අධ්‍යාපනයට සහ වෛද්‍ය සිසුන්ට බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදු වූ ඉතිහාසයද අමතක කළ නොහැක.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ගැටලුව අවසන් වූයේ වටිනා ජීවිත ගණනාවක්ද රටට අහිමි කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත්වීම හේතුවෙන් සයිටම් ආයතනයේ ගැටලුව ජීවිත අහිමිවීමකින් තොරව විසඳා ගැනීමට හැකියාව ලැබුණි.

ගෙවුණු දශකය තුල රාජ්‍ය වෛද්‍ය පීඨ වෙත බඳවාගෙන ඇති වෛද්‍ය සිසුන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, නව වෛද්‍ය පීඨ ගණනාවක්ද බිහිවී ඇත.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම, එහි ගුණාත්මකභාවය, ප්‍රමිතිය නියාමනය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යභාරය, රාජ්‍ය නොවන වෛද්‍ය අධ්‍යාපනය ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විවිධ මතවාද සාකච්ඡාවට ලක් වුවද, එම තේමාවන් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්, විශ්ලේෂණයක් හෝ දැක්මක් කිසිදු පාර්ශ්වයක් සතුව නොමැති බව අපගේ නිරීක්ෂණයයි.

මේ වන විට නැවතත් වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සම්බන්ධයෙන් බරපතල කතිකාවක් ගොඩනැගී ඇති හෙයින්, රටේ ආර්ථික සමාජ තත්ත්වයන්ට සාපේක්ෂව වෛද්‍ය අධ්‍යාපනයේ හෙට දවස කෙසේ විය යුතු ද යන්න තීරණය කිරීම අනිවාර්ය කරුණකි.

මෙම අභියෝගාත්මක පසුබිම තුළ මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ අනාගත දිශානතිය කෙසේ විය යුතුද යන්න අධ්‍යනය කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂඥ කමිටුවක් පත් කරන ලදී.

පවතින දත්ත සහ පසුබිම් සාධක හදාරමින් සහ විශ්ලේෂණය කරමින් අනාගතයේදී මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ අවශ්‍යතාවය, එහි වපසරිය සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ක්‍රියාකාරි සැලැස්ම මෙන්ම ක්‍රමෝපායන් පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමක් සිදු කිරීම එහි අරමුණ විය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සම්පාදිත, ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනයේ අනාගත අභියෝග (Future Expansions of Medical Education in Sri Lanka - A Concept Paper by GMOA) නම් වූ සංකල්ප පත්‍රිකාව  ප්‍රකාශනයක් ලෙස ජනගත කිරීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු සියලු දේශපාලන පක්ෂ නායකයින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සියලු වෛද්‍ය පීඨාධිපතිවරුන්, වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, සරසවි ශිෂ්‍ය ප්‍රජාව ඇතුලු පාර්ශව ගණනාවකට ආරාධනා කර ඇත.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකිවයුතු සියලු පාර්ශව මෙම අවස්ථාවට ක්‍රියාකාරීව සම්බන්ධ වෙතැයි අපි බලාපොරොත්තු වන අතර ඉන් ඔබ්බට මෙම සංකල්ප පත්‍රිකාව මත පදනම්ව මෙරට වෛද්‍ය අධ්‍යාපනය නිවැරදි දිශානතියේ රැගෙන යාමටද ඔවුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව අප දැඩිව විශ්වාස කරමු.

නිවැරදි තොරතුරු රහිතව කීපදෙනෙකුගේ දෝෂ සහගත මතවාද හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත කටයුතු කරනවාට වඩා සියලු වගකිවයුතු පාර්ශවයන්ට විශ්ලේෂණාත්මක කරුණු මත පදනම්ව මෙරට වෛද්‍ය අධ්‍යාපනය ඉදිරියට යාමට වඩා ශක්තිමත්  සහ විද්‍යාත්මක වේදිකාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් නිර්මාණය කර දී ඇත.

වෛද්‍ය අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සද්භාවයෙන් යුතුව මැදිහත් වන්නේ නම් පාලකයන් ඇතුළු සියලු වගකිවයුතු පාර්ශව මේ මොහොතේදී සිදු කළ යුත්තේ දත්ත හා තොරතුරු මත පදනම්ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනගත කරනු ලබන විශ්ලේෂණාත්මක සංකල්ප පත්‍රිකාව මූලික කර ගනිමින් මෙරට වෛද්‍ය විද්‍යාවේ අනාගතය සම්බන්ධයෙන්  විද්‍යාත්මක ප්‍රතිපත්තියක් බිහිකිරීමට එකතු වීම වන අතර මෙම ප්‍රකාශනය හෙලිදැක්වීමේ දැක්වීමේ අවස්ථාවට සහභාගි වීමට මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රගමනයට දායක වීමට සුදානම් ඔබ සියලු දෙනාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරාධනා කර සිටිමු.