රෝගීන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ ප්‍රඥප්තිය වෛද්‍යවරුන්ට විරුද්ධ එකක් නොවෙයි - විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය

රෝගීන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ ප්‍රඥප්තිය වෛද්‍යවරුන්ට විරුද්ධ එකක් නොවෙයි - විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය

මේ ප්‍රඥපත්තිය රෝගීන්ට ඇති ආරක්ෂාව තහවුරු කිරීමේ මාර්ගයක් පමණයි. එසේම 2021-2030 කියන්නේ ‘රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ දශකය. මේ වැඩපිළිවෙළ දියත් වන්නේ ගෝලීය වැඩපිළිවෙළක කොටසක් ලෙසයි. එසේම රටක් ලෙස ඉදිරියට යාමට නම් මෙවැනි දේවල් අත්‍යවශ්‍ය්‍යි. මෙම ප්‍රඥප්තිය තුළ රෝගීන්ට, රජයට, වෛද්‍ය වෘත්තිකයින්ට ඇතුළු සියලුම අදාළ පාර්ශ්වයන්ට අදාළ වගකීම් තිබෙනවා. මේ ආකාරයේ පොදු ක්‍රියාමාර්ගයක් තුළින් පමණයි අපට ඉදිරියට යාමට අවස්ථාව උදා වන්නේ. මෙවැනි ප්‍රඥප්තියක් තුළින් රෝගීන්ට පමණක් නොව රෝගීන් සමග කටයුතු කරන සියලු දෙනාටම යහපතක් මිස අයහපතක් සිදුවන්නේ නැහැ.

වඩාත් ගුණාත්මක හා ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමේ දී වැදගත් වන ‘රෝගීන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ ප්‍රඥප්තියේ‘ මූලික කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ පසුබිම තුළ මෙම ප්‍රඥප්තිය ගෙන ඒමට මූලිකව කටයුතු කළ හා කරමින් සිටින විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

  • ප්‍රශ්නය – රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වා දීමට කාලයක් තිස්සේ දියත් වූ වැඩපිළිවෙළක අවසානය සනිටුහන් කරමින් මේ වන විට රජය එවැනි නීති පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටිනවා. ඔබතුමිය විශ්වාස කරන ආකාරයට රෝගීන්ට අයිතිවාසිකම් තිබිය යුතු ඇයි ? එහි වැදගත්කම කුමක්ද ?

විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය – ‘රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය‘ යන සංවාදය මීට අවුරුදු 24කට පමණ පෙර තමයි ආරම්භ වුණේ. ඕනෑම පුද්ගලයෙක් ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවකදී රෝගියෙක් බවට පත් වෙනවා. ඒ නිසා රෝගීන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම අප කාටත් වැදගත් වෙනවා. ඒ අනුව රෝගීන්ගේ සත්කාරක සේවාව මූලික මිනිස් අයිතියක් ලෙස අප හඳුනා ගෙන තිබෙනවා. රෝගීන්ට සත්කාරත්වය සහතික කිරීම, ඒ සඳහා ඔවුන්ගේ සමීපතමයින් සම්බන්ධ කර ගැනීම රෝගීන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා වන යෝජිත ප්‍රඥාප්තියේ මූලධර්මයක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්.

මෙහිදී වැදගත් කරුණක් ද සඳහන් කළ යුතුයි. ඒ තමයි මේ ප්‍රඥප්තිය සම්පාදනය වෙනුවෙන් මූලාරම්භය ලබා දුන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. මෙය ජනමතයක් බවට පත් කිරීමට සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් සිය දායකත්වය ලබා දුන්නා.  මෙය නෛතික තලයට ගෙන ඒමට 2001 දී විදුලිබල හා බල ශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ දේශාභිමාන්‍ය කරු ජයසූරිය මහතා සහාය සහ නායකත්වය ලබා දුන්නා. ඊට පසුව එතුමා කතානායකවරයා වශයෙන් කටයුතු කළ සමයේදීත් මේ ප්‍රඥප්තිය යථාර්ථයක් කර ගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කළා. ඒත් එතුමාට මේ ප්‍රඥප්තිය යථාර්ථයක් කර ගැනීමට නොහැකි වුණා. ඊට පසුව මයන්ත දිසානායක මැතිතුමාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක් හරහා මේ ගැන සාකච්ඡා කර පසුව වෛද්‍ය උපුල් ගලප්පත්ති සමග අනු කමිටුවක් හැදුවා. මෙම කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක සහයෙන් තමයි අවසානයේ රෝගීන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ මෙම ප්‍රඥාප්තිය සම්පාදනය කළ හැකි වුණේ. මෙය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. මොකද දියුණු සෞඛ්‍ය සේවාවක් සඳහා මෙවැනි ප්‍රඥප්තියක් අතිෂයින් වැදගත් වෙනවා. ඒ වගේම මෙය මූලික අඩිතාලමක් පමණයි. අපි මේ ප්‍රඥපත්තියට අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීම සඳහා ද කටයුතු කරනවා.

  • ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා. මෙවැනි ධනාත්මක පසුබිමක් තුළ රෝගීන්ගේ අයිතිවාසිකම් හා වගකීම් ගැන ප්‍රඥපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි ? එහි වැදගත්කම කුමක්ද ?

විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය – අපි රෝගීන්ගේ අයිතිවාසිකම් දකින්නේ මූලික අයිතිවාසිකමක් ලෙසයි. ඒ කියන්නේ මූලික ආරක්ෂිත සෞඛ්‍ය සත්කාරක සේවාවක් සෑම රෝගියෙකුගෙම අයිතිවාසිකමක් ලෙස අපි සලකනවා. අපි කවුරුත් දන්නා ආකාරයට දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් අපේ රටේ සෞඛ්‍ය සේවාව ඉතාම ඉදිරියෙන් සිටිනවා. දකුණු ආසියානු කලාපයේ කිසිම රටකට රෝගීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ මෙවැනි ප්‍රඥප්තියක් නැහැ. නමුත් තායිලන්තය ඇතුළු ආසියානු රටවල් කිහිපයකට මෙවැනි ප්‍රඥප්තියක් තිබෙනවා. අපි ඒ ගැනත් අවධානය යොමු කළා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව තවත් රටවල් රැසක රෝගීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රඥප්ති අධ්‍යයනය කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඒ අනුව ලංකාව මෙවැනි දෙයක් ගැන සාකච්ඡා කිරීම කලාපීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් පවා ඉතාම වැදගත් කරුණක්. එසේ වුණොත් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ කලාපීය හා ජාත්‍යන්තර ප්‍රජාව අතරට අපටත් එක්වීමට අවස්ථාව හිමිවෙනවා.

ඒ වගේම රෝගීන්ගේ ආරක්ෂාව කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒ වගේම මේක සහයෝගයෙන් කරන ප්‍රයත්නයක්. මේක වෛද්‍යවරුන්ට විරුද්ධ හෝ වෛද්‍යවරුන්ට දඩුවම් කිරීමට කරන දෙයක් නොවෙයි. මේ ප්‍රඥප්තිය යථාර්ථයක් කරගන්න සියලු දෙනාගේම සහයෝගය අපට අවශ්‍යයි.

  • ප්‍රශ්නය – වෛද්‍යවරුන් හෝ රෝහල් කාර්ය මණ්ඩලයෙන් සිදුවන යම් යම් අතපසුවීම් හෝ වෙනත් කරුණු වෙනුවෙන් නෛතික සහනයක් හෝ පිහිටක් ලබා ගැනීමට මේ ප්‍රඥප්තිය රෝගීන් විසින් භාවිතයට ගන්න පුළුවන් නේද ?

විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය – අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒක කරන ක්‍රමවේදය සකස් කර ගැනීමයි මෙහිදී කළ යුතුව තිබෙන්නේ. මේ ප්‍රඥප්තියේ රෝගියෙකුගේ අයිතිවාසිකම් වගේම යුතුකම් තිබෙනවා. රෝගියෙකුගේ අයිතියක් ලෙස වෛද්‍ය සේවය සඳහා ප්‍රවේශ වීම, තොරතුරු දැන ගැනීම, පුද්ගලිකත්වය, රහස්‍යභාවය සහ යම්කිසි අගතියකදී පැමිණිලි කිරීමේ අයිතිය (මෙය මෙම ප්‍රඥප්තිය තුළ අන්තර්ගතව නැති වුවත් මූලික අයිතියක් ලෙස හඳුන ගෙන තිබෙන අතර ඒ ගැන දැඩිව සාකච්ඡා සිදුවිය) මෙම ප්‍රඥප්තිය තුළ තිබෙනවා. එසේම පැමිණිලි කිරීමෙන් පසු සිදුවන දේ ගැන පසුවිපරමක් කළ යුතු වන්නේ කෙසේද ? යන්න ආදි කරුණු ද මෙම ප්‍රඥප්තිය තුළ අන්තර්ගත විය යුතුයි.  මෙම ප්‍රඥප්තිය කොළ කැබැල්ලක් පමණක් නොවිය යුතුයි. මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය නමුත් එය සිදුවෙනවා. මෙම ප්‍රඥප්තියෙන් පමණක් අපට අවශ්‍ය නෛතික රාමුව ලැබෙන්නේ නැහැ.

  • ප්‍රශ්නය – මේ ප්‍රඥප්තිය සම්බන්ධයෙන් වෛද්‍ය වෘත්තිකයින් වෙතින් මෙන්ම සෙසු කණ්ඩායම් වෙතින් ද චෝදනා හෝ විවේචන එල්ල විය හැකියි. මේ ගැන එම සියලු පාර්ශ්වයන්ට ලබාදිය හැකි පණිවුඩය කුමක්ද ?

විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය – මේ ප්‍රඥපත්තිය රෝගීන්ට ඇති ආරක්ෂාව තහවුරු කිරීමේ මාර්ගයක් පමණයි. එසේම 2021-2030 කියන්නේ ‘රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ දශකය. මේ වැඩපිළිවෙළ දියත් වන්නේ ගෝලීය වැඩපිළිවෙළක කොටසක් ලෙසයි. එසේම රටක් ලෙස ඉදිරියට යාමට නම් මෙවැනි දේවල් අත්‍යවශ්‍ය්‍යි. මෙම ප්‍රඥප්තිය තුළ රෝගීන්ට, රජයට, වෛද්‍ය වෘත්තිකයින්ට ඇතුළු සියලුම අදාළ පාර්ශ්වයන්ට අදාළ වගකීම් තිබෙනවා. මේ ආකාරයේ පොදු ක්‍රියාමාර්ගයක් තුළින් පමණයි අපට ඉදිරියට යාමට අවස්ථාව උදා වන්නේ. මෙවැනි ප්‍රඥප්තියක් තුළින් රෝගීන්ට පමණක් නොව රෝගීන් සමග කටයුතු කරන සියලු දෙනාටම යහපතක් මිස අයහපතක් සිදුවන්නේ නැහැ.

සංවාදය – ලසන්ත ද සිල්වා