තමන් පොලීසියෙන් බව පැවසූ පිරිසක් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

තමන් පොලීසියෙන් බව පැවසූ පිරිසක් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

සුප්‍රීම් දසත, රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ධනුෂ්ක සෙනෙවිරත්න රැඳී සිටි කැළණියේ නවාතැන් ගෘහයට පොලීසියෙන් බව පවසා බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

2024 ජූනි 21 දින අලුයම 03ට පමණ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හිසට හා අත්පාවලට සිදු ව ඇති බරපතල  තුවාල හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.

‘‘තමන් නිදා සිටියදී පැමිණි පිරිසක් පොලීසියෙන් බව පැවසීම නිසා දොර විවෘත කළ අවස්ථාවේ වෙනත් පුද්ගලයකු ගැන විමසා ඔහු එහි නොමැති බව පැවසීමෙන් උරණව පුටුවක් කැඩෙන තුරු ඉන් පහර දුන් බව ධනුෂ්ක ප්‍රකාශ කරයි”.  මෙම ප්‍රකාශයට අනුව ඔහු පහර කෑමට ලක්වන්නේ පොලීසියෙන් බව පැවසීම හේතුවෙන් දොර විවෘත කළ පසුය. එම නිසා මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කොට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම පොලිස් දෙපාර්තමේන්තුවේ කඩිනම් වගකීමකි.

යුක්තිය මෙහෙයුම වැනි ක්‍රියාකාරකම්වලින් සිය කීර්ති නාමය ඉහළ නංවා ගැනීමට පොලීසිය උත්සාහ ගන්නා අතරතුර මැර කණ්ඩායම් තමන් පොලීසිය බව පවසමින් මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම සරදම් සහගත බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හැඟීමයි.