වැඩිහිටි සෞඛ්‍ය ආරක්ෂණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව සෞඛ්‍ය ලේකම් දැනුවත් කරයි

වැඩිහිටි සෞඛ්‍ය ආරක්ෂණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව සෞඛ්‍ය ලේකම් දැනුවත් කරයි

ප්‍රජාව තුල වැඩිහිටි හා වියපත් වූවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරිම හා ආදර්ශයන් ලබාදීම  පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙරට JICA කාර්යාලය මගින් මෙහෙයවන ව්‍යාපෘතිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව නියමු ව්‍යාපෘතියක් පසුගිය කාලය තුල දියත් කර ඇත.

එම නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ පසුවිපරම් කටයුතු  පිළිබදව අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කිරිමට JICA ව්‍යාපෘති කණ්ඩායම කටයුතු කරනු ලැබීය.

මෙම අවස්ථාවට එම ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක (Chief Adviser) මිචිකෝ ෆුජිමොතෝ (Ms. Michiko Fujimoto), ව්‍යාපෘති සම්බන්ධීකාරක (Projet Coordinater) කොතා ඉවාකි (Mr. Kota Iwaki) යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.

ප්‍රජාව තුල වැඩිහිටි හා වියපත් වූවන්ට ගුණාත්මක වැඩිහිටි දිවියක් ගත කිරිමට අවස්ථාව උදා කිරිම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණයි. වසර 03 ක ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය 2022 වසරේ ආරම්භ කර ඇත.

මෙහි නියමු ව්‍යාපෘති බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල කොට්ඨාසයේ අතුරුගිරිය මෙන්ම පාදුක්ක කොට්ඨාසයේ පෝරේගෙදර ද බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය කොට්ඨාසයේ කන්දකැපූඋල්පත සහ කිවුලේගෙදර ප්‍රදේශ මුලීක කරගෙන ද සිදු කර ඇත.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය (NSE) දත්ත වලට අනුව ලෝකයේ වැඩිහිටි ජනගහණය සීඝ්‍රයෙන් වර්ධනය වීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ද වැඩිහිටි ජනගහනය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන බවත්, 2000 වර්ෂයේ දී 9.3% ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය 2050 වනවිට 27.6% ක් වන බවට ගණන් බලා ඇත. වැඩිහිටි හා වියපත් ජනතාව වෙනුවෙන් ශක්තිමත් වැඩ පිළිවෙලක් සකස් කිරිම වර්තමානයේ අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්වී ඇති බවත්, වැඩිහිටි ජනතාවට සෞඛ්‍ය රැකවරණය සළසමින්  සෞඛ්‍යාරක්ෂිත ගුණාත්මක වැඩිහිටි දිවියක් ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද උදා කිරීම‌ට මෙම ව්‍යාපෘතිය මහත් රුකුලක් වනු ඇති  බව ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ  වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙම ව්‍යාපෘතිය සදහා ජ්‍රජාව, රෝහල් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලධාරීන්, වැඩිහිටියන්ගේ සේවා කටයුතු සදහා වන පාර්ශ්වකරුවන්, ග්‍රාම නිලධාරින්, සමාජ සේවා නිලධාරින්, වැඩිහිටියන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කරනු ලබන නිලධාරීන්, දිස්ත්‍රික් සහ  ප්‍රදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ඇතුලු පාර්ශ්ව ගණනාවකගේ සක්‍රීය සහභාගිත්වයක් ලබා දී ඇත.