ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අලෙවි කිරීම නවතන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අලෙවි කිරීම නවතන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

රජයටත් දුප්පත් දෙමාපියන්ට හා දරුවන්ටත් ශක්තියක් වන, ලාභ උපයන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අලෙවි කිරීමට කිසිදු හේතුවක් නොමැති ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් කළ යුතු යැයි වන ප්‍රතිපාදනය/නිර්දේශය අහෝසි කරමින් වහා ගැසට් පත්‍රයක් නිකුත් කරන මෙන්ද, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය අදාල පාර්ශවයන් හවුල්වන, සමාජයට විවෘත කෙරෙන ක්‍රියාවලියක් ලෙස සැළසුම් කරන මෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමි කරමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

ඔබගේ 2024 සැප්තැම්බර 27 වන දින අති විශේෂ ගැසට් නිවේදනය අනුව සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීම සම්බන්ධවය

ඔබ වෙත මෙම හදිසි ඇමතුම යොමු කරන්නේ සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමෙහි සේවක සේවිකාවන් නියෝජනය කරන්නාවූ වෘත්තීය සමිතිය ලෙස, ඔවුන්ගේ පූර්ණ එකඟතාවද ඇතිව ය.

ඉහත සඳහන් අංක 2403/53 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව විවිධ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රජයේ සංස්ථා සම්බන්ධයෙන් එදින සිට ක්‍රියාත්මක විය යුතු පියවර හා නීති අණ පනත් ඒ සමග වන උපලේඛනයෙහි නිශ්චිතව සඳහන් වන්නේය.

එහි දෙවන තීරුවෙහි අංක 54 සිට 57 දක්වා නම් කෙරෙන ආයතන සම්බන්ධව ගත යුතු පියවර ලෙස පළමු තීරුවෙහි අංක 36 යටතේ සඳහන් වන්නේ, “ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමෙන් කටයුතු අවසන් කළ යුතු” බව ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉකුත් 2023 මාර්තු මාසයේ පැමිණි එකඟතාවන් අනුව, මේ “ඈවර කිරීම් හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීම්” යනුවෙන් සඳහන් වන්නේ එම රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම බව අප කවුරුත් දන්නා කාරණාවකි. ඒ අනුව, 2023 මැයි මාසයේ 08 වන දින ඇමති මණ්ඩල අනුමැතිය අනුව “ප්‍රතිසංවිධානය” කිරීම සඳහා යැයි රාජ්‍ය ආයතන 52 ක ලේඛනයක් සම්පාදනය කර තිබිණ. එහිද සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අලෙවි කිරීම සඳහා නම්කර තිබුණකි.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ විසින් එම කාර්යන් වෙනුවෙන් “රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය” පිහිටවූ අතර, රාජ්‍ය ව්‍යාපාර අලෙවි කිරීමේ කාර්ය වෙනුවෙන් පළමු පියවර සඳහා එම “ඒකකය” විසින් විශේෂ භාරකාර සමාගමක් පිහිටුවනු ලැබිණ. අප සංගමය විසින් ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීම සමග එදා ව්‍යාපාර ප්‍රතිසංවිධානය කිරීම නතර විය.

රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නේ යැයිද, 2017 සිට 2022 දක්වා වන කාලයේ එම පාඩු පියවීමට මහජන මුදලින් රුපියල් බිලියන 443 ක් වැය කරන්නට සිදුවූයේ යැයිද රාජ්‍ය ව්‍යාපාර අලෙවි කිරීම සඳහා හේතු දක්වමින් වික්‍රමසිංහ ජනාධිපති කියා තිබිණ. එනිසා ප්‍රතිසංවිධානය කළ යුත්තේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පමණක් බවත් එම කාර්ය, සේවක සහභාගිත්වය ඇතිව කෙරෙන විවෘත

ක්‍රියාවලියක් විය යුතු බවත් අපි අවධාරණය කළෙමු. එහෙත් වාර්ෂිකව ලාභ ලබන තවත් ව්‍යාපාර කිහිපයක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අලෙවි කිරීමට හේතුවක් නැතැයි අපි කීවෙමු. ඒ වන විටත් කොරෝනා වසංගතය උග්‍ර ලෙස පැවති 2020 වසරේද ත්‍රිපෝෂ සමාගම රුපියල් මිලියන 100 ක ලාභයක් පෙන්වා තිබිණ. මෙහි සඳහන් නොකර බැරි කාරණාවක් වන්නේ වෙනත් රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීම සඳහා මහ භාණ්ඩාගාරය මුදල් වැය කළද, මහ භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය විට ඔවුන් ත්‍රිපෝෂ සමාගමෙන් මුදල් ලබා ගන්නා බවය. එවැනි ආසන්නම ආධාරය වන්නේ ත්‍රිපෝෂ සමාගමේ 2021, 2022 සහ 2023 වසරවල ලාභයෙන් රුපියල් මිලියන 165 ක් මහ භාණ්ඩාගාරයට ලාභාංශ ලෙස ලබා දීම ය. එපමණක් නොව 2023 වර්ෂයේ ආදාය ම්බදු ලෙස දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන ලද මුදල රු. මිලියන 231 කි.

එවැනි ලාභ ලැබීමට අමතරව, ත්‍රිපෝෂ සමාගමෙහි වටිනාකම ගණන් හැදිය යුත්තේ රජයේ වගකීමක් ලෙස ආණ්ඩු විසින් පවත්වා ගත යුතු අතිශය වැදගත් ළමා හා ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ සමාගම ලබාදෙන දායකත්වයයි. මේ රටේ ගැබිණි මව්වරුන්ට සහ අත දරුවන්ට කිරි දෙන මව්වරුන්ටත් වයස අවුරුදු 05 දක්වා වන මන්දපෝෂිත දරුවන්ටත් ප්‍රාථමික පාසල් දරුවන්ටත් අමතර අත්‍යාවශ්‍ය පෝෂණයක් ලෙස නොමිලේ ත්‍රිපෝෂ ලබා දෙන්නේය. එවැනි ත්‍රිපෝෂ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2020 වාර්ෂික වාර්තාවට අනුව දස ලක්ෂය ඉක්මවා තිබුණි.

මෙහි අප අවධාරණය කරන අනෙක් මූලික කාරණාව වන්නේ නූතන ලෝකයේ දියුණු රටවල පවා බලශක්ති වැනි ඇතැම් අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ රජයේ වගකීම හමුවේ ලාභ පාඩු නොබලා ඔවුන් රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යන්නේය වන කාරණාවය.

එවැනි පසුබිමක, රජයටත් දුප්පත් දෙමාපියන්ට හා දරුවන්ටත් ශක්තියක් වන, ලාභ උපයන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අලෙවි කිරීමට කිසිදු හේතුවක් නොමැති බව ඔබ පිළිගන්නවා ඇතැයි අපි විශ්වාස කරමු. එබැවින් ඉහත සඳහන් ගැසට් පත්‍රයෙහි රාජ්‍ය ව්‍යාපාර “ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් කළ යුතු” යැයි වන ප්‍රතිපාදනය/නිර්දේශය අහෝසි කරමින් වහා ගැසට් පත්‍රයක් නිකුත් කරන මෙන්ද, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය අදාල පාර්ශවයන් හවුල්වන, සමාජයට විවෘත කෙරෙන ක්‍රියාවලියක් ලෙස සැළසුම් කරන මෙන්ද අපි ඉල්ලමු.