සෞඛ්‍ය සේවාවේ දූෂණය වංචාව සහ නාස්තිය වැළැක්වීමට ක්‍රමවේදයක් සැකසීමට අගමැතිතුමියගේ එකඟතාවය

harani-amarsuriya-with-mlt

සෞඛ්‍ය සේවාවේ දූෂණය වංචාව සහ අසීමිත නාස්තිය වැළැක්වීමට ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව බලමණ්ඩලය විසින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරියේ දී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා වැඩපිළිවෙළක් සැකසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සමග අද (11) දින පැවැති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණ තිබේ.

පරිපූරක සේවා වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් මහතා, චානක ධර්මවික්‍රම, තුෂාර රණදේව ඇතුළු එම බලමණ්ඩලය නියෝජනය කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය , රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, වෘත්තීය චිකිත්සක සංගමය, කථන හා වාග් චිකිත්සක සංගමය , භෞත චිකිත්සක සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් රැසක් නියෝජනය කරන සංගම් නායකයන් අද දින අගමැති තුමිය සමග   සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් සාකච්ඡාවක් කරන ලදි.

එහිදී එක් එක්  කණ්ඩායම් තෝරා ගනිමින් වෙන් වෙන් වශයෙන් වැටුප් වැඩි කිරීමේ දී ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දී තිබෙන අතර පිළිගත් හැකි නිර්ණායක මත පදනම්ව ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවය සහ එහි වැදගත්කම ගැන දීර්ඝ ලෙස සාකච්ඡාවක් සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව, ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව වැනි නිර්ණායකයන් භාවිතා කල හැකි ආකාරය පිළිබඳව ද බලමණ්ඩලය විසින් අගමැති හරිනි අමරසූරිය හට පෙන්වා දී ඇත.

තවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දු ප්‍රමාද වීම සහ ක්‍රමවත් නොවීම හේතුවෙන් රාජ්‍ය සේවාව තුල නිර්මාණය වන ගැටලුකාරී තත්ත්වයන් ගැනද ඊට අදාලව පරිපූරක වෛද්‍ය සේවාවට ඇති ව තිබෙන හානිකර තත්ත්වය පිළිබඳව ද එය රෝගී සත්කාර සේවාවට බලපා ඇති ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දී ඇති අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්‍යක්ශමතාවය ඇතුළු එවන් රාජ්‍ය පරිපාලන ආයතන වල කාර්යක්ෂමතාව මැන බැලීමේ ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ වැදගත්කම පිලිබදවද අගමැතිවරියගේ අවධානයට ලක් වී ඇත.

සෞඛ්‍ය සේවාවේ දූෂණය වංචාව සහ අසීමිත නාස්තිය වැළැක්වීමට ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව බලමණ්ඩලය විසින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරියේ දී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැතිතුමිය, බලමණ්ඩලය සමග එකග වී ඇත.