අයවැයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට දේශපාලන බේදයකින් තොරව එකතුවන ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයෙන් ඉල්ලීමක්

අයවැයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට දේශපාලන බේදයකින් තොරව එකතුවන ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයෙන් ඉල්ලීමක්

2025 අයවැයෙන් යෝජිත ජාතික අවම වැටුප වැඩි කිරීමේ යෝජනා සම්බන්ධ අසාධාරණය හා විෂමතා ඉවත්කර ගැනීම සඳහා දේශපාලන වෙනස්කම් නොතකා මිලියන 08 ක පමණ සමස්ථ ශ්‍රමික ප්‍රජාවට සහනදායි ජීවිතයක් වෙනුවෙන් අයවැය කමිටු සාකච්ඡා වාරයේ දී ඒකාබද්ධ යෝජනාවක් ලෙස බෙදීමකින් තොරව සම්මත කරන මෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා ඇතුළු මැතිඇමතිවරුන්ගෙන් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

විද්‍යුත් තැපෑලෙන් සහ අතින් භාර දීම

2025 පෙබරවාරි 25 වන දින

අනුර කුමාර දිසානායක මහතා

ගරු ජනාධිපති, මුදල් සැළසුම් කිරීම් හා සංඛ්‍යාක්ත ආර්ථික ඇමති

මුදල් අමාත්‍යාංශය,

කොළඹ 01.

බිමල් රත්නායක මහතා

ගරු පාර්ලිමේන්තු සභානායක

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති

පාර්ලිමේන්තු සංකීර්ණය.

සජිත් ප්‍රේමදාස මහතා

ගරු පාර්ලිමේන්තු විපක්ෂ නායක

පාර්ලිමේන්තු සංකීර්ණය

ගරු ජනාධිපති, සභානායක හා විපක්ෂ නායක තුමනි,

2025 අයවැයෙන් යෝජිත ජාතික අවම වැටුප වැඩි කිරීමේ යෝජනා සම්බන්ධ අසාධාරණය හා විෂමතා ඉවත්කර ගැනීම වෙනුවෙනි

ඉකුත් 17 වන දින 2025 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ජාතික අය වැය සම්බන්ධව අප සංගමයේ මහා මණ්ඩලය, 2025 පෙබරවාරි මස 23 වන ඉරු දින දීර්ඝ සාකච්ඡාවක් කළහ. එහි වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් වන යෝජනා සාකච්ඡා කෙරුණේ අනෙක් අයවැය යෝජනා ජන ජීවිතයට කෙසේ බලපානු ඇති ද යන්නත් සැළකිල්ලට ගනිමින් ය. මෙහි පහතින් විස්තර ඇතිව ඉදිරිපත් කෙරෙන සංගමයේ යෝජනා දෙකම, අප සංගමයේ මහා මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කළ යෝජනා බැව් විශේෂයෙන් සඳහන් කරන්නෙමු.

සියළු අංශ සඳහා වැටුප් වැඩි කිරීම් තීන්දු කිරීම, ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස අපි අගය කරමු. එහෙත් එමගින් මෙතෙක් නොවුනු විෂමතා ඇති කිරීම අපි දකින්නේ, කවර හේතු නිසා හෝ විවිධ අංශ වෙත වෙනස් ලෙස සැළකීමේ දැනුවත් වුවමනාවක් ආණ්ඩුවට ඇති බව ය. එනිසා සමස්ථ වැටුප්ලාභී සේවක පිරිස අතර අනවශ්‍ය ආදායම් පරතර හා ගැටළුකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමක් අපි දකින්නෙමු.

එකී විෂමතා කෙටියෙන් දක්වතොත්,

01. රාජ්‍ය සේවා සහ පෞද්ගලික අංශය අතර පැවති විෂමතාව තව දුරටත් පුළුල් කෙරෙන්නේ ය. රජයේ සේවා සඳහා නිල වශයෙන් රුපියල් 15,750 කින් වැටුප වැඩි කෙරෙන විට, පෞද්ගලික අංශය සඳහා හාම්පුතුන්ගේ සම්මේලනය සමග ඇති (සනාථ නොවුනු) එකඟතාව මත යැයි යෝජනා කෙරෙන වැටුප් වැඩි වීම රුපියල් 9,000 ක අවිනිශ්චිතයකි. 

02. පෞද්ගලික අංශයේ රු.21,000 ක අවම මාසික වැටුප 2026 ජනවාරි වන විට රුපියල් 30,000 ක් කිරීමට යෝජනා කෙරෙන විට, රජයේ සේවාවේ අඩුම වැටුප්ලාභී කාණ්ඩයේ මාසික වැටුප වන රු.24,250 ක වැටුප රුපියල් 40,000 ක් කිරීමෙන්, එතෙක් රුපියල් 3,250 ක් වූ පරතරය අඩු කරනවා වෙනුවට, රුපියල් 10,000 ක් දක්වා වැඩි කෙරෙන්නේ ය.

03. පෞද්ගලික අංශය ලෙස සැළකෙන සේවක අර්ථසාධක අරමුදල් ලාභීන් අතරින් සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයින්ට ද රජයේ සේවකයින් සඳහාවන රුපියල් 15,750 ක වැටුප් වැඩිවීම ලබා දීමෙන් පෞද්ගලික අංශයෙහ ිද විෂමතාවයක් ඇති කර තිබේ.

04. පෞද්ගලික අංශය ලෙස සැළකෙන වැවිලිකරයේ දෛනික වැටුප රුපියල් 1,700 ක් ලෙස තීන්දු කිරීමට රජයේ මැදිහත්වීම සහතික කිරීමෙන් ඔවුන්ගේ මාසික වැටුප, සම්ප්‍රදායික පෞද්ගලික අංශය සඳහා වැඩි කෙරෙන රුපියල් 30,000 ක මාසික වැටුපට වඩා රුපියල් 12,500 කින් වැඩි වන්නේය.

මෙහි ඇති බරපතලම අසාධාරණය සිදුව ඇත්තේ, දරුණු ආර්ථික අර්බුදයකට හසුව ඉන්නා ලාංකීය සමාජයට අත්‍යාවශ්‍ය විදේශ විනිමය උපයා දෙන පෞද්ගලික අංශයේ විශේෂයෙන් අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි සේවක සේවිකාවන්ට ය. ඔවුන්ට මේ වනවිට රුපියල් 30,000 ක 32,000 ක පමණ මාසික වැටුපක් ලැබෙන හෙයින් රු. 21,000 ක මාසික අවම වැටුපට මෙම වසරේ අප්‍රේල් සිට එකතු කරනවා යැයි කියන රු.6,000 ක වැඩිවීම තබා 2026 ජනවාරියේ ඊට එකතු කරන රු.3,000 ද අදාල නොවන්නකි.

එවැනි අසාධාරණකම් සමග පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් වෙත දක්වන නොසැළකිල්ල සමග වන විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් අප පහතින් සඳහන් යෝජනා දෙක ඉදිරිපත් කරන්නේ අනෙකුත් සියළු ක්ෂේත්‍රයන්හි වැටුප්ලාභී ශ්‍රමිකයින්ට ද වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ වැදගත් ජීවන පැවැත්මක් සහතික කරනු රිසියෙනි.

1. අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි සහ නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් බහුතරය රැකියා කරන්නේ නාගරික හා අර්ධ නාගරික සමාජයන්හි ය. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 ගෘහියික ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව, සිව් දෙනෙකුගෙන් යුත් නාගරික පවුලක ආහාර සඳහා පමණක් වැය වන රුපියල් 26,907 ක මුදල, ඔවුන්ද වැය කළ යුතුය. එහෙත් නාගරික සමාජයේ සාමාන්‍ය මාසික ආදායම ලෙස සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයෙන් දක්වන රුපියල් 61,425 ක වැටුපක් ඔවුන්ට ලැබෙන්නේ නැත. එනිසා ඔවුන්ගේ දළ මාසික වැටුප හා ගත් කළ ආහාර සඳහා පමණක් වැටුපෙන් සියයට 75 ක් පමණ වැය වන්නේ ය. මෙය ඔුවන්ට දැරිය හැකි ආර්ථික පීඩනයක් නොවේ.

එබැවින් රාජ්‍ය, පෞද්ගලික, වැවිලිකරය හා අවිධිමත් ක්ෂේත්‍රය යැයි කිසිදු වෙනසක් නොමැතිව, “ජාතික අවම මාසික වැටුප” 2026 ජනවාරි මාසයේ සිට රුපියල් 65,000 ක් ලෙස තීන්දු කරන මෙන් අප ඉල්ලා සිටින අතර, ඒ සඳහා අයවැය කමිටු සාකච්ඡා වාරයේ අවශ්‍ය සංශෝධනය ඉදිරිපත් කරන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

2. ඉහත සංශෝධනය (අංක 01) 2026 ජනවාරි සිට නියත වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීමේදී, එතෙක් පෞද්ගලික අංශයේ සියළු සේවක සේවිකාවන් දැනට ලබන මාසික වැටුපට අයවැයෙන් යෝජිත රුපියල් 9,000 ක මුළු වැටුප් වැඩි කිරීම, මෙම අප්‍රේල් මාසයේ සිට ලබා දෙන මෙන් ද අපි ඉල්ලමු. 

මෙම යෝජනා දෙක, දේශපාලන වෙනස්කම් නොතකා මිලියන 08 ක පමණ සමස්ථ ශ්‍රමික ප්‍රජාවට සහනදායි ජීවිතයක් වෙනුවෙන් අයවැය කමිටු සාකච්ඡා වාරයේ දී ඒකාබද්ධ යෝජනාවක් ලෙස බෙදීමකින් තොරව සම්මත කරන මෙන් අපි මෙයින් ඉල්ලමු.

ස්තුතියි.

මෙයට විශ්වාසී

ඇන්ටන් මාකස්

සම ලේකම්

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

පිටපත්

1. පාර්ලිමේන්තුවෙහි නියෝජනය වන සියළු පක්ෂ නායකයින් වෙත

2. වෘත්තීය සමිති නායකයින් වෙත

3. සියළු මාධ්‍ය වෙත