අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සහ ජාතික ජන බලවේගය රජය පත්වීමෙන් පසු ඉදිරිපත් කළ පළමු අයවැය මගින් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම කෙරෙහි දැඩි අවධානයක් යොමු වී තිබේ.
දශකයක පමණ කාලයකට පසු වැටුප් ඉහළ දැමීමට යෝජනා කරමින් ජනාධිපති සහ මුදල් ඇමති වශයෙන් අනුර කුමාර දිසානායක අයවැය කතාවේදී පැවසුවේ, "රාජ්‍ය අංශයේ සේවකයින්ට යහපත් ජීවන තත්ත්වයක් ලබා දීම අවශ්‍ය වන අතර, රජයට දක්ෂ සහ පුහුණු ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා" වැටුප් ඉහළ දමන බව ය.
"අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදු කිරීමට යෝජනා කරනවා. රුපියල් 15,750ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450ක් දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලු ම සේවකයින්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය."
කෙසේ වෙතත්, මෙම වැටුප් ඉහළ දැමීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කරන බව ද අනුර කුමාර දිසානායක පැවසීය.
"පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් සියයට 30ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි සියයට 70, 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවනවා."
ඒ අනුව, වැටුප් ඉහළ දැමීමේ අයවැය යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ.
ඇතැම් වෘත්තිකයින් කනස්සල්ලෙන්
වැටුප් වැඩි කිරීමේ යෝජනා හරහා අසාධාරණයක් සිදුව ඇති බවට ඇතැම් වෘත්තිකයෝ මැසිවිලි නගති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, වෛද්‍ය වෘත්තිය සඳහා දක්ෂ නිලධාරීන් ආකර්ෂණය කර ගැනීමට නව වැටුප් සංශෝධන හරහා බාධා එල්ල වන බව ය.
"මූලික වැටුප වැඩිවීම සාධනීය ලෙස අපි දකිනවා. ඒත්, අමතර සේවා සහ නිවාඩු දින දීමනා ගණනය කිරීමේදී ඒ ප්‍රතිශත වෙනස් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. අමතර රාජකාරි සහ නිවාඩු දින රාජකාරිවලදී වෛද්‍යවරුන්ට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නෑ. රාජකාරියට සාපේක්ෂව අඩු තරමින් වැඩ කරන පැය ගණනවත් ලැබෙන්නෙ නෑ. ලැබෙන ප්‍රතිශතයත් අඩු කරනවා කියන්නේ අපි කරන සේවය අවතක්සේරු කිරීමක්," යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටු කළ යුතු බව ය.
"අපි ඉල්ලපු දේවල් තියෙනවා. බදු නිදහස් ලක්ෂයේ සීමාව ලක්ෂ 2 කරන එක. බදු අය කිරීමට 6% - 36% දක්වා තියෙන ප්‍රතිශත 4% – 24% දක්වා අඩු කළ යුතු යි. ඊට මෙහා සංශෝධන ගණනාවක් තමයි ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. පොරොන්දු වුණ දේවල් ක්‍රියාත්මක කළ යුතු යි."
මේ අතර, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ද වැටුප් සම්බන්ධයෙන් විරෝධය පළ කරයි.
එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේ, ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බව ය.
"පරිපූරක වෛද්‍ය සේවාවේ බඳවා ගැනීම පූර්ණ වශයෙන්ම උපාධිධාරී තත්ත්වයට පරිවර්තනය වී ඇති පසුබිමක එය සම්පූර්ණයෙන් ම නොසලකා හරිමින් ඩිප්ලෝමාධාරී වැටුප් තලය පමණක් ලබා දීම වෙනුවට පවතින වැටුප් කේතය ම හෝ භාවිත කරමින් ගුරු සේවාවේ මෙන් පශ්චාත් උපාධිධාරී, උපාධිධාරී, උසස් ඩිප්ලෝමාධාරී සහ ඩිප්ලෝමාධාරී ලෙස වෙන් වෙන් වැටුත් තලයන් ලබා දීම.
පරිපූරක වෛද්‍ය සේවාවේ බඳවා ගැනීමේ පටිපාටි සංශෝධන නොසලකා හරිමින් වැටුප් සංශෝධනය ඉදිරිපත් කිරීම හරහා උසස් වීම් ක්‍රමවේදය වෙනස් වීම හෝ යෝජිත වැටුප් හා වැටුප් වර්ධක ලබාදීමේදී අනවශ්‍ය ගැටලු ඇති වීමේ ඉහළ අවදානම ඉවත් කිරීම සඳහා පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් ක්‍රමවේදය නැවත පෙර පැවති තත්ත්වයට සමාන කරමින් බඳවා ගැනීමේ පටිපාටි සංශෝධනයන් සිදු කර ඇති බැවින් අයවැය 2025 වැටුප් වගු හරහා යෝජිත නව සංශෝධනයන් මගින් සේවාවන්ගේ උසස්වීම්වලට අදාළ බඳවා ගැනීමේ පටිපාටි ක්‍රමවේද උල්ලංඝණය නොකළ යුතු බව සඳහන් කිරීම.
පරිපූරක වෛද්‍ය සේවාවේ සුවිශේෂීබව හා අවම කාර්ය මණ්ඩලයකින් පැය 24 දින 365 අඛණ්ඩව සේවා අවරණය කිරීම යන තත්ත්වය සලකා ලබා දී ඇති දීමනා නිලධාරීන්ට අසාධාරණයක් වන අයුරින් සංශෝධනය කිරීම වෙනුවට, මීට දශක කිහිපයකට පෙර පොදු චක්‍රලේඛ ප්‍රතිපාදන හරහා ලබා දී ඇති සහ මෙතෙක් කිසිදු රජයක් කප්පාදු නොකළ සති අන්ත හා නිවාඩු දින දීමනා රේට් අගය වන 1/20 නොවෙනස්ව ලබා දීම," ආදී ඉල්ලීම් කිහිපයක් එහි සඳහන් විය.
මේ අතර, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ, වසර ගණනක් වෘත්තීය සමිති අරගල හරහා දිනාගත් අයිතීන් මෙවර අයවැය හරහා කප්පාදු කර ඇති බව ය.
2024 වසර සාපේක්ෂව සිය දීමනා මෙවර අයවැය යෝජනා හරහා අඩු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර, සේවකයින්ගේ දීමනා කප්පාදු කිරීමට එරෙහිව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් රෝහල් කිහිපයක විරෝධතාවල නිරත වූහ.
මේ අතර, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ගැටලුවට මෙවර අයවැයෙන් ද විසඳුම් ලැබී නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න පවසයි.
"වෛද්‍යවරයෙකුට එන්ට්‍රි ලෙවල් එකේදී ම ලක්ෂ දෙක හමාරක විතර වැටුපක් ලැබෙනවා. හැබැයි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට තියෙන්නේ ඊට වඩා ගොඩක් අඩු පඩියක්. මේ වැටුප් වැඩිවීම හරහා ඒ තත්ත්වය උග්‍ර වෙයි කියලා හිතනවා. ඒකට විසඳුමක් නොදුන්නොත් අලුත් අය විශ්වවිද්‍යාලවලට බඳව ගැනීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්."
'ඉස්සරහ සාක්කුවට සල්ලි දාලා පිටිපස්සෙ සාක්කුවෙන් උස්සනවා'
අයවැයෙන් යෝජනා කළ වැටුප් ඉහළ දැමීම "ඉස්සරහ සාක්කුවට සල්ලි දාලා පිටිපස්සෙ සාක්කුවෙන් උස්සනවා වගේ වැඩක්" බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙයි.
"අපේ වැටුප් වැඩි කරන්න රජය වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 110යි. හැබැයි උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හරහා අපේ පඩිවලින් කපා ගන්නවා රුපියල් බිලියන 141ක්. ඒ කියන්නේ ඉස්සරහ සාක්කුවට දාලා පිටිපස්සෙ සාක්කුවෙන් උස්සනවා."
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, "බදු අඩු නොකර පඩි වැඩි කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කිසිදු යහපතක් නොවන" බව ය.
"ඇත්තට ම කරන්න තිබුණේ පඩි වැඩි කරන එක නෙවෙයි. ආදායම් බද්ද යි, භාණ්ඩ බදු ටික යි අඩු කරන එක යි. පොඩි කාර් එකක් ගන්න කෝටියක් වියදම් කරන්නෙ කවුද? අධික විදිහට මිල ඉහළ ගියා ම මිනිස්සු වියදම් කිරීම අඩු කරනවා. එතකොට සල්ලි පරිහරණය අඩු වෙනවා. ඒ හරහා රටේ ආර්ථිකය තවත් සංකෝචනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි කොච්චර කිව්වත් ඒවා අහන්නේ නෑ."
කෙසේ වෙතත්, වැටුප් වැඩි කිරීම හරහා බදු ගෙවූ පසු පෙරට වඩා වැඩි මුදලක් අතට ලැබෙන බව ද මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේ ය.
'රජයේ සේවකයින්ගේ වැටුප් විශාල ලෙස වැඩි වෙනවා' - අගමැතිනි
මේ අතර, අඟහරුවාදා (පෙබ: 25) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළේ, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ඇතුළු බොහෝ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ යන බව ය.
වැටුප් ඉහළ දැමීම හරහා විදුහල්පතිවරුන්ගේ වැටුප් රාජ්‍ය අංශයේ වැඩි ම වැටුප් ලබන ස්ථර අතර 5 වන ස්ථානයටත්, ගුරුවරුන්ගේ වැටුප් 8 වන ස්ථානයටත් පත්ව ඇතැයි ඇය පෙන්වා දුන්නා ය.
එහෙයින්, වැටුප් අඩු වී ඇතැයි යනුවෙන් දක්වන අදහස් අසත්‍ය ප්‍රකාශ බව ද ඇය පැවසීය.
වැටුප් වැඩි කිරීම හරහා උපයන විට බදු ගෙවන්නන් සංඛ්‍යාව ඉහළට
ජනාධිපති අනුර කුමාර දිසානායක යෝජනා කළ පරිදි උපයන විට ගෙවීමේ බදු සංශෝධනය අනුව බදු ගෙවීමේ සීමාව මාසිකව රුපියල් ලක්ෂ එක හමාර දක්වා ඉහළ දමා තිබේ.
2023 වසරේදී එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රංජිත් සියඹලාපිටිය මාධ්‍ය වෙත පවසා තිබුණේ, රාජ්‍ය සේවකයින් 28,227 දෙනෙකු රුපියල් 150,000ත් 200,000ත් අතර වැටුප් ගන්නා බව ය.
ඔහු පැවසූ පරිදි, රුපියල් 200,000ට වඩා වැටුප් ලබන රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 30,591 දෙනෙකි.
මෙවර වැටුප් ඉහළ දැමීමත් සමග රුපියල් 150,000ට වඩා වැඩි වැටුප් ලබන රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව යම් ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.
ඒ සම්බන්ධයෙන් නිශ්චිත දත්ත ලබා ගැනීම සඳහා බීබීසී සිංහල සේවය මුදල් අමාත්‍යංශයේ අයවැය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇමතුව ද, නවතම දත්ත ලබා ගැනීමට නොහැකි විය.
(bbc/sinhala)