පරිපූරක වෛද්‍ය වෘත්තීකයින් නැවතත් වර්ජනයකට සැරසෙයි

psm

පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත් වීමක් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා විසින් අනුගමනය කරනු ලබන පාර්ශ්වික ප්‍රතිපත්තිය හා දේශපාලනිකව ගනු ලබන තීන්දු තීරණ හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවට අදාලව පැන නැඟි ඇති ගැටලු නොවිසඳීම මත අප බලමණ්ඩලයේ අංක JCPSM/Gen/2025 (26) දරණ2025.05.17 දිනැති ලිපිය මඟින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් යොජනා කරනු ලදී

නමුත් එවකට වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සාධනීය ලෙස මැදිහත් වෙමින් අදාල වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා ගැනීමට උත්සහ ගැනීමත් 2025.05.31 දිනට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා දැනුවත් කරමින් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට පොරොන්දු වීමත් හේතුවෙන් අදාල වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට අප විසින් කටයුතු කරන ලදී. ඔබගේ වැඩිමනත් අවධානය පිණිස ඊට අදාල අංක MH/TA/G/PSM/05/2020 - වෙළුම 01 දරණ 2025.05.21 දිනැති ලිපිය මේ සමඟ යොමු කරමු.

තත්වය එසේ වුවත් මේ වනවිට අප වෙත සාධනීය විසඳුම් ලබා දීම කෙසේ වෙතත් ඇය තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කටයුතු කිරීම පවා අභියෝගයට ලක්ව ඇති බව අප වෙත වාර්තා වී ඇති බැවින් හා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා ලෙස මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් ලබා දීමට අපොහොසත් වීම මත නැවත අත්හිටවූ වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත යොමු වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් පෙන්වා දෙමු. ඒ අනූව 2025.06.03 වන අද දිනයේ රැස්වූ JCPSM විධායක සභාව 2025.06.05 දින නැවත වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත අවතීර්ණ වීමට තීරණය කල බවද ඉතා කණගාටුවෙන් යුතුව පෙන්වා දෙමු.

කෙසේ නමුත් පසුගිය රජයන් හමුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වෘත්තීය සමිති ව්‍යාපාරයන් මෙන් පවතින රජය අපහසුතාවයට පත්කිරීම හෝ වෙනත් පාර්ශ්වයක් බලයට රැගෙන ඒමේ අවශ්‍යතාවයක් මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවන බව ඉතා ඕනෑකමින් පෙන්වා දෙන අතරම අප බලමණ්ඩලයේ අංක JCPSM/Gen/2025 (27) දරණ2025.05.23 දිනැති ලිපිය මඟින් ඉදිරිපත් කරන ලද යෝජිත විසඳුම් හරහා පවතින ගැටළු විසඳා ගැනීම ඒකායන අරමුණ බවත් වැඩි දුරටත් පෙන්වා දෙමු.

 එබැවින් එම ලිපිය හරහා යෝජිත විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතරම සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළුව විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා ලෙස මැදිහත් වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු. එසේ නොවන්නේ නම් 2025.06.05 දිනට යෝජිත වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ඊට අදාල වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා විසින් භාරගත යුතු බවත් පෙන්වා දෙමු.