2016 අංක 04 දරණ සේවකයින්ගේ අයවැය සහන දීමනා පනත හරහා මසකට රු. 40,000/= ක් හෝ ඊට අඩු මූලික වැටුපක් ලබන සේවකයින් හට ව්‍යවස්ථාපිතව සහතික කර ඇති රු. 2,500/= ක මාසික අමතර අනිවාර්ය ගෙවීම, 2025.03.31 දිනට පසු රැකියාවට බැඳෙන සියළු සේවකයින්ට අහිමි කොට, සේවායෝජකයින් මෙම ව්‍යවස්ථාපිත වගකීමෙන් මුදා හැර, සේවකයින්ගේ නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත ඉපයීම් අහිමි කෙරෙන ආකාරයට නීතිගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති සංශෝධන පනත් කෙටුම්පත පනත් කෙටුම්පත වහා ඉවත් කර ගන්නා මෙන් පහත අත්සන් කරන වෘත්තීය සමිති අවධාරණය කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
අයවැය සහන දීමනාව ප්‍රථම වරට 1978 දී පාර්ලිමේන්තු පනතක් හරහා හඳුන්වා දෙන ලදී. එම නීති සම්පාදනයේදී ව්‍යවස්ථාදායකය විසින් අයවැය සහන දීමනාව සඳහා වෙනම ලේඛනයක් පවත්වාගෙන යාමට සේවායෝජකයාට නියෝග ලබා දෙන ලදී. මෙම දැඩි නියෝගය මඟින් සේවායෝජකයින්ට වැටුපක් ගෙවා අයවැය සහන දීමනාව එම වැටුප තුළ අඩංගු බවට ප්‍රකාශ කළ නොහැකි බවට සහතික විය. 2005 සහ 2016 දී පාර්ලිමේන්තුව හරහා නව අයවැය සහන දීමනා හඳුන්වා දෙන ලද අතර එමඟින් සේවකයින්ට ඔවුන්ගේ වැටුප් වලට අමතරව ව්‍යවස්ථාපිතව අනිවාර්ය අත්‍යවශ්‍ය සහන ලබා දෙන ලදී. මෙම දීමනාව අතිකාල, සේවක අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, ප්‍රසූත ප්‍රතිලාභ සහ පාරිතෝෂික ඇතුළු ව්‍යවස්ථාපිත ගෙවීම්වලටද යටත් විය.
ව්‍යවස්ථාදායකය විසින් සම්මත කළ 2016 අංක 04 දරණ සේවකයින්ගේ අයවැය සහන දීමනාව පනත මගින් රු. 40,000/= කට අඩු මූලික මාසික වැටුපක් හිමි සියළු සේවකයින් අනිවාර්ය රු. 2,500/= ක මාසික ගෙවීමකට හිමිකම් කියනු ලැබිණි.
මෙම රු. 2,500/= මාසික ගෙවීම එම පනතේ 09 වන වගන්තිය ප්‍රකාරව:
(අ) සේවක අර්ථසාධක අරමුදලට, සේවක භාරකාර අරමුදලට සහ විශ්‍රාම වැටුපට ගෙවනු ලබන දායක මුදල්;
(ආ) වාර්ෂික නිවාඩු හෝ නිවාඩු දින සඳහා වේතන හෝ වැටුප්;
(ඇ) අතිකාල දීමනා පාරිශ්‍රමික;
(ඈ) ප්‍රසූත ප්‍රතිලාභ ගෙවීම;
(ඉ) පාරිතෝෂික මුදල්;
වලට අදාල කරගනු ලැබූ අතර, නීතියේ ප්‍රතිපාදන ප්‍රකාරව සේවකයාගේ වේතනවල හෝ වැටුපෙහි අනිවාර්ය මූලික කොටසක් විය යුතු බවට විධාන කර ඇත.
එනමුත්, ජාතික අවම වැටුප රු. 27,000/= ක් (2025 වසර සඳහා) සහ රු. 30,000/= ක් (2026 වසරේ සිට) දක්වා අදාළ වන පරිදි සේවකයින්ගේ ජාතික අවම වේතන පනතට සිදු කිරීමට යෝජිත සංශෝධනයට මුවා වී, රු. 27,000/= සිට රු. 40,000/= දක්වා වන මාසික මූලික වැටුපකට 2025.03.31 දිනෙන් පසුව රැකියාවට බඳවා ගනු ලබන සියළුම සේවකයින් හට එම අනිවාර්ය පූර්ණ ව්‍යවස්ථාපිත මාසික ගෙවීම අහිමි කෙරෙන ආකාරයට 2016 අංක 04 දරණ සේවකයින්ගේ අයවැය සහන දීමනා පනත අත්තනෝමතිකව සංශෝධනය කිරීමට කටයුතු යොදා ඇති අතර, අදාළ පනත් කෙටුම්පත 2025.05.20 වන දින ගැසට් කර ඇත.
ගැසට් කර ඇති ඉහත සඳහන් සංශෝධන පනත් කෙටුම්පත මගින් සේවකයින් දශකයක කාලයක් අඛණ්ඩව හිමිකම් කියූ අතිකාල සහ පූර්ණ සමාජ ආරක්ෂණ හිමිකම් සහිත රු. 2,500/= මාසික ව්‍යවස්ථාපිත ගෙවීම ඉතා අයුක්ති සහගත ලෙස 2025.03.31 දිනෙන් පසුව රැකියාවට බැඳෙන රු. 27,000/= සිට රු. 40,000/= දක්වා වන මාසික මූලික වැටුප් කාණ්ඩයට අයත් සියළු සේවකයින් හට අහිමි කර ඇති අතර එමගින් සේවායෝජකයින් හට විශාල අතිරේක මූල්‍ය ප්‍රතිලාභයක් වැරදි සහගතව අත්කර දීමට සමත්ව ඇත.
තවද, අවම වැටුප රු. 27,000/= ක් බවට පත් කිරීම මගින් රු. 27,000/= සිට රු. 40,000/= දක්වා වන මූලික වැටුප් කාණ්ඩයට අදාළ නව සේවකයින්ට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන අතර, ඔවුන් හට 2016 අංක 04 දරණ පනතින් සහතික කර තිබු රු. 2,500/= ක සියළු හිමිකම් සහිත පූර්ණ ගෙවීම අහිමි කර ඇත. අවසානයේ රජයේ ජාතික අවම වැටුප වැඩි කිරීමේ තීරණයේ බර පැන ඉසිලීමට සිදුව ඇත්තේ රු. 27,000/= සිට රු. 40,000/= දක්වා වන මූලික වැටුප් කාණ්ඩයට අදාළ නව සේවකයින් හට ය.
ඉහත සංශෝධන පනත් කෙටුම්පත මගින් රැකියාවට බැඳෙන නව සේවකයින් හට ව්‍යවස්ථාපිතව තහවුරු කර තිබූ රු. 2,500/= ක නීත්‍යානුකූල පූර්ණ ඉපයීම ඔවුන්ගෙන් ඉවත් කොට එය සේවායෝජකගේ දෑතට පිරිනැමීමේ කූටෝපායක් ක්‍රියාවට නංවා ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙසම පැහැදිළිය.
තවද, මෙම සංශෝධන පනත් කෙටුම්පත රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉඳුරා පටහැනි අතර, රාජ්‍ය අනුග්‍රහයෙන් සූරාකෑම නීතිගත කිරීමට මංපෙත් විවර කර දී ඇත.
2025.05.20 දින ගැසට් කර ඇති සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත වහා ඉවත් කර ගන්නා මෙන් පහත අත්සන් කරන වෘත්තීය සමිති අවධාරණයෙන් ඉල්ලා සිටින්නෙමු.