කම්කරු නීති කෙටුම්පත සංශෝධනය කමිටුව මුල් වරට රැස්වෙයි

labour-law-reform

රාජ්‍ය,අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට අදාළ කෙටුම්පත් කර ඇති යෝජිත කම්කරු පනත සංශෝධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණඩල අනුමැතිය ලත් කමිටුව අද (25) දින මුල් වරට රැස්විය.

කම්කරු අමාත්‍ය ආචාය– අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේදී මෙම  ආරම්භක රැස්වීම පැවැත්විණ.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයින් ලෙස නීති ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම මානව සම්පත් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන් කිහිපදෙනෙකුගෙන් එම කමිටුව සමන්විතය.

ඊට අමතරව කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද සහ කම්කරු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) මුදිතා පද්මජායි යන මහත්මීන්ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

මෙම  රැස්වීමේදී කමිටුවේ අරමුණු සහ අභිමතාර්ථ පිළිබඳ අමාත්‍යවරුන් දෙදෙනා අදහස් දැක්වූහ.

ඒ අනුව වෘත්තීය අයිතිවාසිකම් සුරකිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් හඳුන්වා දී ඇති කම්කරු ප්‍රඥාප්තීන් වලට අනුගතව මෙම සංශෝධන සහිත පනත ඉදිරිපත් කිරීම රජයේ අපේක්ෂාව බව එහිදී ප්‍රකාශ කෙරිණ.

ඊට අමතරව ත්‍රයි-පාර්ශවීය සබදතා තහවුරු කරමින් කාර්මික සාමය ස්ථාපනය වන පරිදි නූතනත්වයට ගැලපෙන යෝජිත සංශෝධන පනත සකස් කිරීමට නියමිතය.

මෙහිදී කමිටු සාමාජිකයින්ද සිය අදහස් පළ කළ අතර නිශ්චිත කාලරාමුවකට යටත්ව කමිටුවේ කාර්යභාරය සම්පූර්ණ කිරීමට  එකඟත්වය පළ කෙරිණ.

කඩිනමින් අදාළ කෙටුම්පත සමාලෝචනය කිරීමටත් ඊට සුදුසු ක්‍රමවේදය පිළිබඳවත් කමිටුවේදී අදහස් ඉදිරිපත් කෙරිණ.

පැවති මංගල රැස්වීමේදී කමිටු සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානයද අමාත්‍යවරුන් විසින් සිදු කරන ලදී.

 කම්කරු නීති කෙටුම්පත සංශෝධනය සඳහා පත් කෙරුණු  අමාත්‍ය මණ්ඩල කමිටුව එළැඹෙන සැප්තැම්බර් 11 වැනිදා යළි රැස්වීමට නියමිතයි.